මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි

    October, 1, 2018

    2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.96% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,369.26 ක් ලෙසින් සටහන් වූ මෙම අගය පසුගිය සැප්තැම්බර් 28 දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 5,862.18 ක් වශයෙනි.

    මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු නිර්නායක කිහිපයක් මත පදනම්ව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉහළ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් සකස් කරනු ලබන S&P SL20 දර්ශකය මෙම කාලපරිච්ඡේදය තුළ දී 18.24% කින් පහළ වැටී තිබේ. වසර ආරම්භයේ දී එහි අගය ඒකක 3,671.72 ක් ලෙසින් සටහන් වූ අතර වසරේ මුල් මාස 09 අවසානයේ දී S&P SL20 දර්ශකය සටහන් වී ඇත්තේ ඒකක 3,002.00 ක් ලෙසිනි.

    මෙම වකවානුව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 790 ක් ලෙස දැක්වේ.

    මේ අතර වසරේ මේ දක්වා රුපියල් බිලියන 5.7 ක ශුද්ධ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ.

    2016 මාර්තු 09 න් පසු වාර්තා වූ අඩුම මට්ටමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ වන විට පැමිණ තිබේ.