September, 18, 2019
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2019" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.
මෙහිදී, මුදල් අමාත්‍ය මංගල සමරවීර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය, ඉන්දියානු රජයේ හිටපු වාණිජ, කර්මාන්ත හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ G7 සහ G20 සංසදයන්හි ඉන්දීය අග්‍රාමාත්‍ය නිල තානාපති සුරේෂ් ප්‍රභූ, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයකට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.
එම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුලු දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
මෙහිදී සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවත් තවදුරටත් මැදි ආදායම් උගුලේ එකකැන පල්වෙනවාද, දියුණු ආර්ථිකයක් බවට පත්වීමේ පිම්මක් පනිනවාද යන විකල්ප දෙකෙන් තෝරා ගැනීමකට කාලය පැමිණ ඇති බවත්ය.
“අප දැන් ඉහළ මැදි ආදායම් ලබන රටක්. අපට විකල්ප දෙකක් තිබෙනවා. මැදි ආදායම් උගුලේ එක තැන පල්වෙනවාද, අප දියුණු ආර්ථිකයක් බවට පත්කරන පිම්මකින් ගමන් කිරීමට අපට අවශ්‍යද? අපිට පහළ ආදායමක් ලබන රටවල්වලට ගැළපෙන පරිදි ආර්ථික ක්‍රමවේද සකස් කරන්න බැහැ. අපි මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.“
“අපි රට සූදානම් කළ යුතුයි. අපි ණය හසුරුවා ආර්ථිකය ස්ථාවර කළා. දැන් අපගේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබෙනවා. අපි අපේ ආදායම වැඩි කර තිබෙනවා. අපි මෙය ආරක්ෂා කළ යුතුයි“, යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Video Story