මැයි මාසයේ දී බැඳුම්කරවලින් ඉවත් කර ගත් ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 89 යි

    July, 23, 2018

    2018 මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 89 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, 2018 වසරේ පළමු මාස 5 තුළ දී සමුච්ඡිත ශුද්ධ ගෙවීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 102 ක් විය.

    එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් විදේශ ආයෝජකයින් විසින් තම ආයෝජන කළඹ වෙනස් කිරීම, ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙතින් වාර්තා වූ ගෙවීම් තුළින් පුළුල් ලෙස පිළිබිඹු කරයි.

    ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ විදේශ විනිමය ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන, 2018 වසරේ මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, 2018 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 53 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    රජය වෙත වූ දිගුකාලීන ණය, 2018 වසරේ මැයි මාසය සඳහා සහ වසරේ පළමු මාස පහ සඳහා පිළිවෙලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 325 ක සහ එක්සත් ජනපද ඩොලර් මිලියන 231 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2018 මැයි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.