මැයි මාසයේ සංචාරක පැමිණීම සියයට 2.5 කින් පහළට

    June, 14, 2017

    2017 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 121,891 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ. මෙය 2016 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වන 125,044 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමකි.

     

    මේ අතර 2017 වසරේ පළමු මාස 5 තුළ දී පැමිණ තිබෙන සංචාරකයින්ගේ මුළු ප්‍රමාණය 887,093 ක් වන අතර එය පෙර වසරේ මුල් මාස 5 තුළ දී වාර්තා වී තිබෙන සංචාරකයින්ගේ මුළු පැමිණීම වන 846,229 හා සැසඳීමේ දී සියයට 4.8 ක ඉහළ යාමකි.

     

    2017 වසර තුළ දී සංචාරකයින් මිලියන 2.5 ක් මෙරටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය මස ඇති වූ ගංවතුහර හා නායයෑම් ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම ඉලක්කයන් හි කිසිදු වෙනසක් සිදු නොවන බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

     

    සුපුරුදු පරිදි මැයි මාසයේ දීද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 145,058 කි. කෙසේවෙතත් මෙම සංඛ්‍යාව 2016 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය වන 145,773 හැ සැසඳීමේ දී සියයට 0.5 ක පහළ යාමකි.

     

    මැයි මාසය තුළ දී පැමිණ තිබෙන චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 4.1 කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 10.6 කින් ඉහළ ගොස් තිබේ. එසේම රුසියානු සංචාරකයින්ගේ පැමිණීමේ ද සියයට 19.4 ක වැඩිවීමක් මැයි මාසයේ දී වාර්තා වී ඇත.

    Page1May17

    Page2May17

    Page3May17

    Page4May17