මිනි බාර්වලට තිබූ නීතිමය බාධා ඉවතට

    October, 1, 2019

    මෙතෙක් කලක් විදේශීය මත්පැන් ලඟ තබා ගැනීමේ දී පැවති නීතිරීති ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව සුරාබදු කොමසාරිස් කාර්යාලය පවසයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ මෙතෙක් පැවති විදෙස් මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය සහ සන්තකයේ තබා ගත හැකි උපරිම ප්‍රමාණය වූ ලීටර 7.5 සීමාව ලීටර 80ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.

    මේ අනුව උත්සව, සාද, ප්‍රියසම්භාෂණ සඳහා විශාල පරිමාණයෙන් විදෙස් මත්පැන් මිල දී ගැනීමේ දී සහ ප්‍රවාහනය සඳහා මෙන්ම පුද්ගලික පරිභෝජනය සඳහා ඇතැම් පුද්ගලයින් විසින් සිය නිවෙස්වල පවත්වාගෙන යනු ලබන ‘මිනි බාර්‘ ආදිය සඳහා නීත්‍යානුකූල ලෙස උපරිම ලීටර 80 ක උපරිම සීමාවක් හිමිවනු ඇත.

    2015.12.31 වන දිනැති අංක 1947/41 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් සුරා බඳු නිවේදන අංක 985 අනුව මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි විදේශීය මත්පැන් සිල්ලරට විකිණිය හැකි, ප්‍රවාහනය කළ හැකි සහ ලඟ තබා ගත හැකි උපරිම සීමාව ලීටර් 7.5 කි. බලපත්‍රලාභී නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු නොවන පුද්ගලයකු හට ලීටර් 7.5ක් ඉක්මවා ලඟ තබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ බලපත්‍රයක් ලබා ගත යුතු වනු ඇත.

    කෙසේ නමුදු සුරාබඳු ආඥා පනතේ 17 වෙනි වගන්තියට ඇති 02 වන අතුරු විධානය ප්‍රකාරව ඕනෑම පුද්ගලයකු විසින් කිසියම් විදේශීය මත්පැන් ප්‍රමාණයක් විකිණීමේ අරමුණින් තොරව සද්භාවයෙන් ස්වකීය පුද්ගලික පරිභෝජනය පිණිස මිලදී ගෙන ඇත්නම් (purchased by any person For his bona fide private Consumption and not for Sale ”) එවන් පුද්ලයෙකු සම්බන්ධයෙන් සුරා බඳු ආඥා පනතේ 17 වෙනි වගන්තිය අදාල වීමක් සිදු නොවන බව එකී අතුරු විධානයෙහි ඉතාමත් පැහැදිලිව සඳහන්ව ඇත.

    මෙම නියාමනයන් හි තිබෙන ගැටළුකාරීත්වය මඟහැරවීම සඳහා මෙලෙස විදෙස් මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය සහ සන්තකයේ තබා ගත හැකි උපරිම ප්‍රමාණය ලීටර් 80 ක් දක්වා ඉහළ නංවා ඇති බවත් මෙම නීතිය 2019 සැප්තැම්බර් 27 දින සිට බලපැවැත්වෙනු ඇති බවත් අද දෙරණ වෙත අදහස් දැක්වූ සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.