මිලියන 10 ක ආයෝජනයකින් මැලෙසියාවෙන් ශ්‍රී ලංකාවට යතුරුපැදි කර්මාන්ත ශාලාවක්

    June, 13, 2016

    රිංගිට් මිලියන 10 ක ආයෝජනයක් මෙරට තුළ සිදුකිරීමට මැලේසියාවේ DNC Asiatic Holdings Sdn Bhd සමාගම තීරණය කර තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර සිටී. Demak වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාවට යතුරුපැදි අපනයනය කරනු ලබන DNC Asiatic Holdings Sdn Bhd සමාගම, මෙම නව ප්‍රවේශයත් සමඟම ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    DNC Asiatic Holdings Sdn Bhd සමාගම විසින් සම්පූර්ණ හිමිකාරීත්වය දරණ දේශීය සමාගමක් වන Demak Manufacturing Lanka (Pvt) Ltd සමාගම මේ වන විට අදාළ ව්‍යාපෘතිය සඳහා අක්කර 10 ක පමණ භූමි භාගයක් කොළඹට නුදුරින් මිල දී ගෙන තිබේ. දැනට Demak යතුරුපැදි එකලස් කිරීම Demak Manufacturing Lanka (Pvt) Ltd විසින් මෙරට දී සිදුකරනු ලබයි.

    DNC Asiatic Holdings Sdn Bhd සතුව මැලේසියාව තුළ නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක් තිබෙන අතර එහි සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව යතුරුපැදි ඒකක 120,000 ක් පමණ වේ. මෙහිදී අදහස් දක්වමින් DNC Asiatic Holdings Sdn Bhd හි විධායක අධ්‍යක්ෂිකා Hu Ying කියා සිටියේ 2015 වසර තුළ Demak යතුරුපැදි 3,000 ක් ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇති බවත් එය 2014 අලෙවි කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක් බවත්ය. එසේම 2016 වසර තුළ දී ඒකක 10,000 ක අලෙවියක් බලාපොරොත්තු වන බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව 2015 වසර තුළ දී මෙටර තුළ යතුරුපැදි 301,000 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2014 තුළ ලියාපදිංචි කර තිබෙන යතුරුපැදි ප්‍රමාණය වූ 197,000 මෙන් එය 50% ක් ඉක්මවූ ප්‍රමාණයකි.