මිලියන 2000 කට වැඩි ලාභ ලැබූ සමාගම් වලට සුපිරි වාසි බද්දක්

    January, 29, 2015

    2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වඩා ලාභයක් ලැබූ සමාගම් වලින් අදාළ ලාභ වලින් සියයට 25 ක සුපිරි වාසි බද්දක් (super gains) අය කිරීමට නව රජය යෝජනා කර තිබේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙවැනි බද්දක් ගෙවිය යුතු වන්නේ සමාගම් 35 ක් 40 ක් වැනි ප්‍රමාණයක් පමණක් බවත් ඒ තුළින් රුපියල් බිලියන 50 ක් පමණ අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

    මෙම සමාගම් විසින් ලැබූ මෙම සුපිරි ලාභ අනිකුත් සමාගම් වලට පිරිවැයක් ලෙස සලකන නිසා මේ ආකාරයෙන් බදු අය කරන බව මුදල් අමාත්‍යවරයා කීය.

    මෙම බද්ද ගෙවිය යුතුවන්නේ එක් වරක් පමණි.

    මේ අතර, රජය විසින් මන්දිර බද්ද (Mansion Tax) යනුවෙන්ද බද්දක් හඳුන්වා දී තිබේ. මෙහිදී, රුපියල් මිලියන 100 කට වැඩි වටිනාකමක් හෝ වර්ග අඩි 5000 කට වැඩි නිවාස වලින් වාර්ෂිකව රුපියල් මිලියනයක බද්දක් අයකරන අතර ඒ තුළින් රුපියල් බිලියනයක් රැස්කර ගැනීමට අපේක්ෂා කර ඇත.