මුදල් නීති පනත සංශෝධනයට IMF නීති විශේෂඥයින්ගේ සහාය

    January, 2, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය අංශයේ අධීක්ෂණය සවිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අමතරව, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සහ මුදල් ප්‍රතිපත්ති රාමුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව හඳුන්වා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස මුදල් නීති පනත සඳහා පුළුල් සංශෝධන සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලබා ගෙන ඇත.

    ඒ අනුව, දිගු කාලීනව ගැටලුවක්ව පවත්නා මහ බැංකුවේ මූලික නොවන සහ රාජ්‍ය මූල්‍ය කටයුතු හා සබැඳුණු ඇතැම් ක්‍රියාකාරකම්, රාජ්‍ය මූල්‍ය මූල්‍යයනය යනාදියට විසඳුම් සපයන අතර, මුදල් ප්‍රතිපත්තිවලට අදාළ බලතල සහ ක්‍රියාකාරකම් පැහැදිලිව දැක්වීම තුළින් මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීතී විශේෂඥයන්ගේ සහයෝගය ද සහිතව මුදල් නීති පනතෙහි සිදුකෙරෙන සංශෝධන මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

    අද (02) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති, ‘2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම‘ එළිදක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.