මුදල් ප්‍රතිපත්තිය දැඩිවෙයි. පොලී අනුපාත තවදුරටත් ඉහළට

    July, 7, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජූලි මස 06 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින්, පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය.

    මෑත කාලීනව මතුපිට උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ඉදිරි කාලයේදී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවතීම පිළිබඳව අවධානය යොමු කරමින් අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩ නැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

    මෙම තීරණයට එළඹීමේදී මුදල් මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යනාදිය කෙරෙහි දැඩි මුදල් තත්ත්වයන් මගින් වන බලපෑම සහ නුදුරු කාලීනව ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි මිල පීඩන ඉහළ යෑම හේතුවෙන්  සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා බලන ලදී.

    ඒ අනුව, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මගින් ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන ගොඩ නැගීම සීමා කරන අතරම මැදි කාලීනව ඉලක්කගත මතුපිට උද්ධමන මට්ටම ආසන්නයේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහස විය.