මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට?

    March, 23, 2017

    2017 වසර සඳහා සිදුකරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (24) උදෑසන 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙවර විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තියේ දැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. මේ අනුව පොළී අනුපාතිකවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.

    මේ අතර ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් 2017 පෙබරවාරි 21 සිට මාර්තු 07 දක්වා කාලය තුළ සිදුකළ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කියා සිටියේ, උද්ධමන පීඩන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කරනු ලබන බවයි.

    එබැවින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2017 පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2 ක් ලෙසින් ඉහළ අගයක් වාර්තා වීම හරහා උද්ධමන පාලන ක්‍රමවේදයක් ලෙසින් සහ ණය වර්ධනය පාලනය කිරීමේ අරමුණු ඇතිව මුදල් ප්‍රතිපත්තියේ දැඩි වීමක් මෙවර අපේක්ෂා කළ හැකිවේ.

    තවද ඊයේ (22) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දීද පොළී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වූ අතර එහිදී දින 91 බිල්පත් පොළිය 9.47% සිට 9.57% දක්වාද, දින 182 බිල්පත් පොළිය 10.39% සිට 10.46% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 10.74% සිට 10.82% දක්වා ද ඉහළ යන ලදී.

    මෙම වාතාවරණය තුළ වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 බැගින් ඉහළ යාමට හෙට දින මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් බොහෝ දුරට ඉඩ ඇති බවයි.