මුදල් ප්‍රතිපත්තිය යෝග්‍ය බව මහ බැංකුව තීරණය කරයි

    January, 2, 2017

    පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 දෙසැම්බර් 30 වැනි දින පැවති මුදල් මණ්ඩල හමුවේ දී තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.5 මට්ටමේ එලෙසම පවතිනු ඇත.

    මේ අතර විදේශීය අංශය සැලකූ විට, 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදමේ එක් අයිතමයක පමණක් සිදු වූ විශේෂ වැඩිවීමේ බලපෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දේ. තවද සංචාරක ඉපැයීම් මෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර ලෙස අඛණ්ඩව මෙම අවධියේ දී වර්ධනය වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2016 නොවැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 3.6 කින් අවප්‍රමාණය වී ඇත.