මුදල් ප්‍රතිපත්තිය විවරණය හෙට

    September, 25, 2017

    2017 වසරේ සයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය අගෝස්තු 03 වැනි දින ප්‍රකාශයට පත් වූ අතර එහිදී මුදල් මණ්ඩලයේ අදහස වී ඇත්තේ පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවයි.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.25 සහ සියයට 8.75 යන පැවති මට්ටම්වල පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබිණි. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.5 මට්ටමේ නොවනස්ව පවත්වා ගැනීමට ද මුදල් මණ්ඩලය තීරණය කළේය.

    මෙවර මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් ද ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනසක් සිදු නොවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.