මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ භාර ගනියි

    October, 31, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු වූ එස්.ආර්. ආටිගල මහතා අද (31) සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

    මහ බැංකුවේ විධායක නිලධාරියකු වන ආටිගල මහතා මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් තිස්සේ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.

    එක්සත් රාජධානියේ වෝවික් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාත්මක සංවර්ධන ආර්ථිකය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් (M.Sc.) වන ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් ද වේ. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආටිගල මහතා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා දායකත්වය දැක් වූ නිලධාරියෙකි.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන අධ්‍යක්ෂ සහ සභාපති යන තනතුරු හෙබ වූ ආටිගල මහතා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කර තිබේ.