මුල් මාස 06 ට සියයට 8 කින් කොළඹ කොටස් ඉහළට

    July, 3, 2017

    වසරේ මුල් මාස 06 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 8.33 තික් ඉහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය, 2017 ජූනි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,747.07 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර වසරේ මුල් භාගය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍යෙ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 1,150 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික විවරණයෙහි සඳහන් වේ. මීට වසරකට පෙර එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 455 ක් ලෙසිනි. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද මේ වන විට රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. වසරකට පෙර එහි වටිනාකම වාර්තා වූයේ රුපියල් ට්‍රිලියන 2.68 ක් වශයෙනි.

    මේ අතර අද (03) දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.01 කින් පහළ ගිය අතර එහි අගය ඒකක 6,733.06 ක් ලෙසින් සටහන් විය. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 640.99 ක්වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 256.6 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 445.73 ක් ලෙසද, විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 384.38 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 195.25 ක් ලෙස ද වාර්තා විය.

    වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණය රුපියල් බිලියන 22 කි.