මූල්‍ය පිරිවැය ඉහළට – ලාෆ්ස් ලාභ, අලාභ වෙයි

    February, 16, 2017

    2017 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයෙහි සඳහන් වේ.

    මෙහිදී අදාළ කාර්තුව තුළ දී රුපියල් මිලියන 185.66 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර 2015 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම විසින් වාර්තා කර තිබෙන ශුද්ධ ලාභ අගය වන රුපියල් මිලියන 293.29 හා සැසඳීමේ දී එය සියයට 163 ක පහළ යාමකි.

    කෙසේ වෙතත් සමාගමේ ආදායම අදාළ කාර්තුව තුළ දී රුපියල් බිලියන 3.95 සිට රුපියල් බිලියන 4.79 දක්වා සියයට 21 ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 126.82 සිට රුපියල් මිලියන 403.51 දක්වා සමාගමේ මූල්‍ය වියදම් සියයට 218 කින් ඉහළ ගොස් තිබේ.

    තවද 2016 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගමේ ආදායම් බදු වියදම් ද රුපියල් මිලියන 100 සිට රුපියල් මිලියන 189 දක්වා සියයට 89 කින් වර්ධනය වී ඇත.

    මේ අතර 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය වෙනුවෙන් සමාගම විසින් රුපියල් මිලියන 120.29 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 2015 අදාළ කාලපරිච්ඡේදයේ ශුද්ධ ලාභය වූ රුපියල් බිලියන 1.17 හා සැසඳීමේ දී සියයට 90 ක පහළ යාමකි.

    2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලාෆ්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී රුපියල් බිලියන 1.34 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.