මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි

    October, 19, 2017

    තායිලන්ත කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Group Lease Public Co. Ltd හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Mitsuji Konoshita අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට තායි සුරැකුම් හා විනිමය කොමිසම කටයුතු කර තිබේ. ඒ ඔහු වෙත එල්ල වී ඇති දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ අපරාධ චෝදනාවන් හේතුවෙනි. මේ අතර මෙම චෝදනා අනාවරණය වීමත් සමඟ පසුගිය සඳුදා තායිලන්ත කොටස් හුවමාරුවේ Group Lease සමාගමේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට ද නියාමකයින් විසින් පියවර ගෙන තිබිණි.

    Group Lease Public Co. Ltd හි කොටස් මිල හා ආයෝජකයින්ගේ තීරණ කෙරෙහි බලපාන අයුරින් සිදුකරන ලද අනාවරණය නොකළ ගනුදෙනු, වත්කම් අවභාවිතය, වැරදි මූල්‍ය ගනුදෙනු සඳහා අනුබල දීම, දෝෂසහගත ගිණුම් වාර්තා සැකසීම යනාදිය Mitsuji Konoshita වෙත එල්ල වී ඇති චෝදනා වේ.

    මේ අතර බැංකොක් පෝස්ට් පුවත් සේවය කියා සිටින්නේ මොහු විසින් සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳ සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විදෙස් සමාගම් කිහිපයක් සමඟ සැකසහිත ගනුදෙනුවල නිරත වී ඇති බවයි.

    Group Lease Public Co. Ltd විසින් පසුගිය 2016 දෙසැම්බර් මාසයේ දී මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි 29.99% ක කොටස් හිමිකාරීත්වයක් මිල දී ගනු ලැබීය. මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් බිලියන 10.56 කි.

    මෙම ගනුදෙනුවේ තිබුණු විශේෂත්වය නම් කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ එම අවස්ථාවේ කොටසක ගනුදෙනු මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් Group Lease Public Co. Ltd විසින් ගෙවා අදාළ කොටස් මිල දී ගැනීම සිදු කිරීමයි.

    මෙම ගනුදෙනුවෙන් පසු චෝදනා ලැබ සිටින Mitsuji Konoshita, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ අතර 2017 සැප්තැම්බර් 11 වන දින ඔහු එම තනතුරින් ඉල්ලා අස් වූ බව සමාගම් නිවේදනය කර සිටියේය.

    Group Lease Public Co. Ltd, වර්තමානයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වේ.