මෙදාපාර අවුරුද්දට පරිප්පු කන එක ලේසි නෑ

    April, 5, 2014

    අපි වැඩිපුරම කන්නෙ පරිප්පු. හැබැයි මේ අවුරද්දේ පරිප්පු කන එක ලේසි නැතිවන හැඩයි. එහෙම වෙන්නේ මේ වනවිට මෙරට පරිප්පු වෙළඳ පොළ අර්බුදයකට ලක්වී තිබෙන නිසයි.

    මෙරටට නිමි පරිප්පු ආනයනය කිරීමේ බද්ද ගෙඩි පරිප්පු ආනයනය කිරීමේ බද්දට වඩා අඩුයි. එයින් රජය බලාපොරොත්තු වෙන්නේ නිමි පරිප්පු ආනයනය කිරීම වඩාත් ධෛර්යමත් කිරීමටයි.

    මේ නිසා, මෙරට පරිප්පු ආනයනකරුවන් නිමි පරිප්පු ආනයනය කිරීම සඳහා පසුගිය කාලයේදී වැඩිපුර ඇනවුම් භාරදුන්නා. ඒ නිමි පරිප්පුවල බද්ද අඩු නිසයි. කෙසේවෙතත්, ඇනවුම් ලබාදීමෙන් පසුව ලෝක වෙළඳ පොළේ නිමි පරිප්පු මිල විශාල ලෙස ඉහළ ගියා. මේ නිසා, ලංකාවේ ආනයනකරුවන් කර තිබෙන ඇනවුම් සැපයුම් කරුවන් විසින් මේ වනවිට අවලංගු කරමින් තිබෙන බව අප වෙත අනාවරණය වෙනවා.

    එයට හේතුව අඩු මිලට මෙරට ආනයනකරුවන්ට පරිප්පු ලබාදීමට ඉන්දියාව, තුර්කිය,ඩුබායි වැනි රටවල සිටින සැපයුම් කරුවන් මැලිවීමයි. මේ නිසා, දේශීය වෙළඳ පොළේ පරිප්පු මිල වැඩිවීමේ අවධානමක් තිබෙනවා. තොග මිල රුපියල් 118 සිට රුපියල් 125 ක් දක්වා තිබූ පරිප්පු කිලෝවක මිල මේ නිසා රුපියල් 150 ක් වැනි මිලක් දක්වා ඉහළ නැගීමේ අවධානමක් ඇතිවී තිබෙනවා.

    ඒ නිසා, මෙදාපාර අවුරුද්දේ පරිප්පු කන එක ලේසි වෙන එකක් නෑ.