මෙන්න! අද කොටස් පොළේ රැළි

    April, 25, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 26.70 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් 80.10 ක් දක්වා ඉහළ නැගීම වඩාත්ම කැපී පෙනුණි.

    මේ අනුව, ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ කොටස් 213,300 ක් අද ගනුදෙනු විය.

    දිවැස ඉක්විටි සමාගම සතුව ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ තිබූ සියයට 51 ක් වන පාලිත කොටස් ප්‍රමාණය උපාය මාර්ගික හුවමාරුවක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි වෙත ගිවිසගත් ගනුදෙනුවක් ලෙසින් මාරුකළ බව ඊයේ කොළඹ කොටස් වෙළඳ පොළ වෙත සමාගම නිවේදනය කර තිබුණි.

    අද දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 10.32 කින් පහළ ගොස් ඒකක 6,167.81 ක්වූ අතර එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 6.59 කින් පහළ ගොස් ඒකක 3,387.97 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 906.2 ක් ලෙස දැක්වුණි.

    අද දිනයේ ලයන් බෘවරි සමාගමේ කොටසක් රුපියල් 34.90 කින් ඉහළ ගොස් රුපියල් 425 ක්ද, ජාතික සංවර්ධන බැංකුවේ කොටසක් රුපියල් 3.80 කින් ඉහළ ගොස් රුපියල් 191.80 ක්ද වෙද්දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 34.50 කින් පහළ ගොස් රුපියල් 1065.50 ක්ද, ජෝන් කීල්ස් සමූහයේ කොටසක් රුපියල් 4.30 කින් පහළ ගොස් රුපියල් 233.20 ක්ද, බුකිට්ඩාරා කොටසක් රුපියල් 15කින් පහළ ගොස් රුපියල් 580 ක්ද විය.

    අද නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 3.13 ක් ගනුදෙනු වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 24.17 කි.

    මේ අතර, පී.සී.එච්. හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 1.74 ක්ද, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 1.51 ක්ද අද ගනුදෙනු වී තිබේ.

    ගිවිසගත් ගනුදෙනු (Crossings) දෙකක් අද කොළඹ කොටස් වෙළඳ පොළේ වාර්තා වූ අතර ඉන් එකක් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම සිදුකර ඇත. මෙහිදී, සමාගම විසින් එකක් රුපියල් 30 ක් වන කොටස් මිලියන 11 ක් විකුණා තිබෙන අතර අනාවරණය වන ආකාරයට මෙම මිලදීගැනීම සිදුකර තිබෙන්නේ ආයෝජකයෙකු වන ටී.සෙන්තිවේල් මහතායි.

    සම්පත් බැංකුව විසින්ද අද ගිවිසගත් කොටස් ගනුදෙනුවක් සිදුකර තිබෙන අතර එහිදී කොටසක් රුපියල් 195 ක් වන කොටස් 150,000 ක් විකුණා ඇත.

    විදේශීය ආයෝජන බැල්ම

    අද වෙළඳ පොළේ ක්‍රියාකාරීත්වයෙන් විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 09 ක් තරම් අඩු ප්‍රමාණයකි. මේ අනුව, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 86 ක කොටස් විකුණා දමද්දී රුපියල් මිලියන 77 ක කොටස් මිලදීගෙන තිබේ.