මෙන්න! අපේ විදුලි ජාලය නැංවීමට ජපානය එක්වන හැටි

    April, 24, 2015

    ජයිකා (JICA) ආයතනය හෙවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් ණය මුදලක් ලබාගනිමින් මෙරට ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය සංවර්ධනය කිරීමටත් එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් රජය සූදානම් වේ.

    මෙරට විදුලිබල අවශ්‍යතාවය වාර්ෂිකව සියයට 05-07 අතර ප්‍රමාණයකින් ඉහළ නගිමින් තිබෙන අතර ආර්ථික සංවර්ධනය සමග මෙම අවශ්‍යතාවය දිගටම පවතිනු ඇත.

    මේ නිසා, රජය සඳහන් කරන්නේ විදුලි බල උත්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන අතරම මෙරට සියලු ජනතාවට නිසි ප්‍රමිතියකින් යුතු විදුලි සැපයුමක් බාධාවකින් තොරව ලබාදීම සඳහා විදුලිබල සම්ප්‍රේෂණයේදී සිදුවන අපතේ යෑම් අවම කරගනිමින් විදුලිබල සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කළ යුතුව තිබෙන බවයි.

    මෙම අරමුණු ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර මේ සඳහා ජයිකා (JICA) ආයතනය හෙවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හරහා ජපාන රජය විසින් රුපියල් බිලියන 26.8 ක ණය මුදලක් ලබාදීමට කැමැත්ත පළකර තිබේ.

    මෙයට අදාළ ණය ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට රජය තීන්දු කර ඇත.