July, 4, 2017
ජපාන යෙන් මිලියන 470ක ප්‍රතිපාදන ගිවිසුම පසුගියදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. සමරතුංග සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා යන මහත්වරුන් අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අත්සන් තැබිණ. ලංකා මුදලින් රු. මිලියන 640ක් පමණ වටිනා මෙම ප්‍රතිපාදනවලට අදාළ අක්තපත්‍ර හුවමාරුව ද ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා සහ ආචාර්ය සමරතුංග යන මහත්වරුන් අතර සිදු විණි.
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) 2009 වසරේදී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා රජයේ සමාජ-ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති ගොඩනැගීම සහ ඒවා ක්‍රියාවට නැංවීම තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිවය.
"මෙම ව්‍යාපෘතිය, රාජ්‍ය නිලධාරීන්ගේ විශ්ලේෂණ හැකියාවන් සහ තීරණ ගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මග පාදනවා. ජපාන රජය JICA ආයතනය හරහා කෙටි කාලීන පුහුණු වැඩසටහන් 150කට අධික සංඛ්‍යාවක් ද, දිගු කාලීන ශිෂ්‍යත්ව 18ක් පමණ ද වාර්ෂිකව පිරිනැමීමට කටයුතු කරනවා" යනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළේය.
JDS ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියර යටතේ JICA ආයතනය 2009-2019 කාල සීමාව තුළ මෙරට රාජ්‍ය නිලධාරීන් 120 දෙනෙකු හට රාජ්‍ය පරිපාලන, රාජ්‍ය ප්‍රතිපත්ති, පළාත් සංවර්ධනය, ආර්ථික කටයුතු, ව්‍යාපාර කළමනාකරණ සහ පාරිසරික හා ආපදා කළමනාකරණ යන ක්ෂේත්‍ර ඔස්සේ ජපානයේ කීර්තිමත් විශ්වවිද්‍යාලවල වසර දෙකක දර්ශනපති උපාධි සඳහා අවස්ථාව හිමිකර දෙයි.
මීට අමතරව මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ තෙවන අදියර ලෙස 2017 වසරේ සිට 2023 දක්වා කාල පරාසය තුළ තවත් රාජ්‍ය නිලධාරීන් 120 දෙනෙකු හට දර්ශනපති උපාධි සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබා දීමට ද JICA ආයතනය කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ හිමිවන සමස්ත රාජ්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 240ක් වේ.
දර්ශනපති උපාධිවලට අමතරව, මෙම වසරේ මුල් භාගයේදී දියත් කරන ලද පූර්ව සමීක්ෂණයේ ප්‍රතිඵල මත පිහිටා ආචාර්ය උපාධි වැඩසටහනක් ද හඳුන්වා දීමට එම ආයතනය සැලසුම් කර ඇත.
"JICA ආයතනය ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර ප්‍රධාන වශයෙන් මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කර ගන්නවා. සිය උපාධි අපේක්ෂකයන් හට පිරිනමන පහසුකම් ඔවුන් වෙනුවෙන් පවතින සූදානම නිසා JDS ව්‍යාපෘතිය අනෙකුත් වැඩසටහන් අතර කැපී පෙනෙනවා. JICA ආයතනය විසින් පත්කරන ලද උපදේශකයෙකු, ඔවුන් වැඩසටහන සඳහා අයදුම් කරන අවස්ථාවේ සිට ජපානයට ළඟා වීම දක්වා සෑම අදියරකදී ම ඔවුන්ට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම ලබා දීමට කටයුතු කරනවා. ජපානයට ළඟා වූ පසුව ජපාන පරිසරයට හැකි ඉක්මණින් අනුගත වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. උපාධි අපේක්ෂකයන් හට බාධාවකින් තොරව සිය අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදුකර ගැනීම සඳහා ආයතනය සහ ඔවුන් අතර සමීප සබඳතාවක් පවත්වා ගැනීම බෙහෙවින් උපකාරීවන බව අපගේ විශ්වාසයයි" යනුවෙන් JICA ආයතනයේ ප්‍රධාන නියෝජිත ටනාකා මහතා ප්‍රකාශ කළේය.
වසර 60කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ජපාන රජය ලබා දෙන සහයෝගය තුළ JICA ආයතනය සුළු හා මහා පරිමාණ ආර්ටික සහ සමාජ යටිතල පහසුකම් මෙන් ම මානව සම්පත් සංවර්ධනය, කෘත්‍රිම සහ ස්වභාවික විපත්වලදී යළි ගොඩනැගීම සහ පිළිසකර කිරීම ආදිය සඳහා ද සිය නොමඳ සහයෝගය ලබා දී ඇත.
සේයා රූ සටහන : JICA ආයතනයේ මෙරට ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. සමරතුංග යන මහත්වරුන් අතර ගිවිසුම් හුවමාරු කර ගත් මොහොත
Video Story