මෙරට පීසාකරු සහ කළු කෝපිකරු සෙවීමේ මෙහෙයුමක්

    March, 20, 2014

    දකුණු ආසියාවේ විශාලතම සත්කාරක සේවා ප්‍රදර්ශනය වන කොළඹදී පැවැත්වෙන  “Hotel Show“ සඳහා මෙවර නවමු අත්දැකීමක් එක්කරමින් වේගවත්ම පීසා නිපදවන්නා තේරීමේ තරගය සහ ශ්‍රී ලංකා කෝපිසැල් තරගය නමින් තරග දෙකක් එක් කර තිබේ.

    සංවිධායකයින් පවසන්නේ ආපනශාලා ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින වේගවත් බව සැලකිල්ලට ගනිමින් වේගවත්ම පීසා නිපදවන්නා තරගය හඳුන්වා දී තිබෙන බවයි.

    ශ්‍රී ලංකාවේ කෝපි සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා එම අංශයේ ව්‍යාපාරික කටයුතු කරන සමාගම්වල නව්‍යතාවයන් එළිදැක්වීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා කෝපිසැල් තරගය හඳුන්වාදී තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදර්ශන සංවිධායක කමිටු සභාපති ට්‍රේවින් ගෝමස් සඳහන් කළේ මෙම තරගය මගින් ශ්‍රී ලාංකේය දක්ෂතා හඳුනා ගැනීමට අදහස් කර තිබෙන බවත් ජයග්‍රාහකයින් තෝරා ගැනීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදුකරන බවයි.

    “ජයග්‍රාහකයින්ට ජාත්‍යන්තර තරග වලදී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබාදෙනවා.“

    යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    2014 “Hotel Show“ ප්‍රදර්ශනය ජුනි මස 13 සිට 15 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නව වන වරටත් පැවැත්වේ.