• Ada Derana BIZ Sinhala
  • Singer
  • sri lanka

මෙරට මැහුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව කුසලතා සහ ව්‍යවසායකත්වය වර්ධනය කරන සිංගර් ෆැෂන් ඇකඩමියේ කතාව

September, 12, 2022

ශ්‍රී ලංකාව පුරා ජනතාවට මැහුම් කලාව ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන  යාමට පහසුකම් සපයමින්, මැහුම් ක්ෂේත්‍රයට මෙන් ම  නිවාසවලට ද නැතිවම බැරි නිෂ්පාදනයක් බවට පත් වී ඇති සිංගර්  මහන මැෂිම සිංගර් (ශ්‍රී ලංකා) යන නාමය මෙන් ම දශක ගණනාවක් පුරා මෙරට ජන සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. සිංගර් සමාගම දශක හයකට වැඩි කාලයක් තිස්සේ  සිය වෙළෙඳනාමය යටතේ, ශ්‍රී ලංකාව තුළ මහන මැෂින් නිෂ්පාදනයේ නිරත වන අතර, ලොව ප්‍රථම සිග් - සැග් මහන මැෂිම සහ පළමු ඉලෙක්ට්‍රොනික මහන මැෂිම ඇතුළු මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් රැසක් සිය සන්නාමය යටතේ ලොවට දායාද කිරීමට එම සමාගම සමත් වී ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමට අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ඉන්ඩස්ට්‍රීස්  සමාගම සම්ප්‍රදායික, අතේ ගෙන යා හැකි මෙන් ම ඩිජිටල් යනා දී සියලු ම මාදිලි යටතේ මහන මැෂින් නිෂ්පාදනය කරයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය මගින් සිය කර්මාන්තශාලා තුළ සේවක සේවිකාවන් 100 කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම,  පුද්ගලයින් 150 කට පමණ වක්‍ර ලෙස රැකියා  පහසුකම් සපයයි.  සාම්ප්‍රදායික මහන මැෂින්, සාමාන්‍ය මැස්ම සහිත මහන මැෂින් සහ සිග් - සැග් මහන මැෂින් වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර, අතේ ගෙන යා හැකි සහ ඩිජිටල් මහන මැෂින් නවීනතම නිෂ්පාදනයන් ලෙස  පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සළසයි. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් එකලස් කිරීම සහ මහන මැෂින් සඳහා ආධාරක උපාංග නිෂ්පාදන කාර්‍යයෙහි ද නිරත වන බව පැවසිය යුතු ම කරුණකි.

මහන මැෂින් ආධාරක උපාංග වන ස්ටෑන්ඩ් සහ කැබිනට් 100% ක් දේශීයව නිෂ්පාදනය කිරීම සිදු කරන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ජීවනෝපායන් ගොඩනඟාගෙන ඇති දේශීය සැපයුම්කරුවන් වෙත ද සහයෝගය ලබා දීම සිදු කරයි. එමෙන් ම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම, මහන මැෂින් නවෝත්පාදනය වෙනුවෙන් ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයකින් ද සමන්විත වේ.  සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් නිපදවනු ලබන සියලු ම මහන මැෂින් නිෂ්පාදන,  එම සමාගමේ මව් සමාගම වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සිය ප්‍රදර්ශනාගාර 431 වෙත බෙදා හැරීම සිදු කරයි.  වර්තමානය වන විට සිංගර් සමාගම දේශීය මහන මැෂින් ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කටයුතු කරමින්, 85% ක වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර, මහන මැෂින් සම්බන්ධ තාක්ෂණික සහාය ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි සිය සේවා මධ්‍යස්ථානවල විශේෂ සේවා කාර්මිකශිල්පීන් අනුයුක්ත කර තිබීම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන පහසුකම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පවත්වාගෙන යන YouTube නාලිකාව මගින් සිය පාරිභෝගික ජනතාව වෙත තාක්ෂණික දැනුම සම්ප්‍රේෂණය කිරීම වෙනුවෙන් වීඩියෝ 130 කට අධික ප්‍රමාණයක් මුදාහැර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

'සිංගර්' නාමය අද වන විට මෙරට මැහුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව නැතිව ම බැරි නාමයක් බවට පත් වී ඇති අතර, එම සමාගම දේශීය මැහුම් කර්මාන්තයේ ප්‍රගමනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ සිංගර් ෆැෂන් ඇකඩමිය හරහාය.  වසර 60 කට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාව වෙත සේවා සපයන සිංගර් ෆැෂන් ඇකඩමිය අද වන විට පුද්ගලයින් දහස් ගණනකගේ මැහුම් කුසලතා වර්ධනය කරමින්, ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දී ඇත. ඒ අනුව සිංගර් ෆැෂන්  ඇකඩමිය වර්තමානය වන විට මැහුම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යන අතර, නුදුරු අනාගතයේ දී මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව උපාධි පාඨමාලා පිරිනැමීමට  ද සූදානමින් සිටී. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය සිය පාඨමාලා සඳහා එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) වෙතින් අනුමැතිය ලබා ඇති මෙරට ප්‍රථම සහ එක ම ආයතනය වශයෙන් ද හඳුන්වා දිය හැකිය. දිවයින පුරා පිහිටා ඇති ශාඛා 54 කින් සමන්විත සිංගර් ෆැෂන් ඇකඩමිය අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් නඟාසිටුවීම වෙනුවෙන් සිය 'දිවි සවිය' වැඩසටහන හරහා මැහුම් පාඨමාලා 22 ක්, ඩිප්ලෝමා පාඨමාලා 2 ක් සහ තවත් පාඨමාලා 10 ක් පිරිණමයි. සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් දියත් කරන පාඨමාලා සඳහා  සිසු සිසුවියන් 5000-6000 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව බඳවා ගනු ලබයි. මුහුණට මුහුණලා පවත්වන පන්තිවලට අමතරව, මාර්ගගත (Online) පාඨමාලා ඔස්සේ සිය සිසු සිසුවියන්ට පහසුකම් සළසන සිංගර් ෆැෂන් ඇකඩමිය, සිසු සිසුවියන් වෙත තවදුරටත් පහසුකම් සැළසීම අරමුණු කරමින් පසුකාලීන පරිශීලනය සඳහා පාඩම්වල නැරඹිය හැකි වීඩියෝ පිටපතක්  සැපයීම ද ඉතා සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස හැඳින්විය හැකිය.  පසුගිය දශකය තුළ සිසු සිසුවියන් 60,000 කට අධික පිරිසක් ඉතා සාර්ථකව මෙම පාඨමාලා හදාරා නිම කර ඇති අතර, එම සිසු සිසුවියන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් තමන්ගේ ම මැහුම් ව්‍යාපාරයන් ආරම්භ කර ඇති බව සිංගර් ෆැෂන් ඇකඩමිය අභිමානයෙන් සිහිපත් කරයි. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය ශ්‍රී ලාංකික ජනතාව අතර මැහුම් කුසලතාව වර්ධනය කිරීමට සමත් වී ඇති නිසා ම මෙම ශිල්පය අද වනවිට  බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් බවට පත් වී  ඇති බව ද පැවසිය යුතු ම ය.

මැහුම් ශිල්පය ඉතා හොඳ ආදායමක් උපයා ගත හැකි ස්වයං රැකියා ක්ෂේත්‍රයක් වන අතර, එය වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් යම් අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වීම නිවැරදිය. කලක් තිස්සේ තමාගේ ම මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන එන බොහෝ පුද්ගලයින් වර්තමානය වන විට සිය ව්‍යාපාර ඉහළ ලාභ ලබන ව්‍යාපාර දක්වා දියුණු කරගෙන  ඇති බව පෙන්වා දෙන සිංගර් ෆැෂන් ඇකඩමිය, මැහුම් කුසලතා වර්ධනය කිරීමට අවශ්‍ය සියලු සම්පත් දායකත්වය ලබා දෙමින්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා  කැපවී සිටී.