මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමන් ඇරඹීමෙන් පසු ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ පැමිණීම 45% කින් ඉහළට

    October, 31, 2018

    ශ්‍රීලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත සෘජු ගුවන් සේවාවන් හඳුන්වාදීමේ පළමු සංවත්සරය සමරමින් ජාතික ගුවන් ප්‍රවාහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යන දෙඅංශයේම කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.  එමගින් ජාතික ගුවන් සේවය  සංචාරක ක්ෂේත්‍රයට සහ ශ්‍රී ලංකාවට නව අවස්ථාවන්  රැසක් උදා කර දී තිබේ.

    2017 ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව  ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ පැමිණීමේ වාර්තා ගත වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2018 සැප්තැම්බර් මස 30 වන දින තෙක් ගතවූ කාලසීමාව තුළ 45.16% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.   මෙය අනෙකුත් සියලුම රටවල් වලින් පැමිණෙන සංචාරකයන්ගේ වර්ධන වේගය වන 2.8% අභිබවා යෑමකි.

    සියයට හතරයි දශම පහක ප්‍රතිශතයක් සමඟ මේ වන විට ඕස්ට්‍රේලියාව 6 වැනි විශාලතම සංචාරක ජනන වෙළෙඳපොළ බවට පත්ව ඇති අතර එය  දැනට වඩාත්ම වේගයෙන් වර්ධනය වන ප්‍රධාන වෙළඳපොළ ද වේ. සංචාරක සංඛ්‍යාව අතින් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලට පිටුපසින් සිටියත් ශ්‍රී ලංකාවේ වර්ධන වේගය අනෙකුත් රටවල් 5 අතුරින් ඉහළ මට්ටමක පවතී.

    ඕස්ට්‍රේලියානු මහාද්වීපය හා ඉන්දියන් සාගර කලාපය අතර ගමන් කරන සංචාරකයන්  දැන් කොළඹ සහ මෙල්බර්න් අතර දිනපතා ශ්‍රීලංකන් ගුවන් සේවය සිදු කරන සෘජු ගුවන් ගමන් පහසුව භුක්ති විඳී.

    මීට පෙර මෙල්බර්න් වෙත ගමන් කරන සංචාරකයන්ට සිංගප්පූරුව, ක්වාලාලම්පූර් හරහා හෝ බැංකොක් සහ හොංකොං වැනි ගුවන් තොටුපොළවල් හරහා පැය ගණනාවක් ගමන් කළ යුතුව තිබුණි. නමුත් මේ වන විට සම්මානලාභී ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවීන එයාර්බස් A330 ගුවන් යානා මගින්  සුවපහසු ආසන, නවීන  පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන, සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක  සත්කාරය සහ ව්‍යාපාරික පන්තියේ සුවිශේෂී පහසුකම්  අත්විඳීමට  මගීන්ට  අවස්ථාව උදා කර දී තිබේ.

    පසුගිය වසර තුළදී  ශ්‍රීලංකන් ගුවන් සේවය එයාර්බස් A330-200 ගුවන් යානා  මගින් මෙහෙයුම් දියත් කළ අතර දෙවැනි වසරට එළඹීමත් සමඟ නවීන එයාර්බස් A330-300 ගුවන් යානා මගින් මෙල්බර්න් වෙත මෙහෙයුම් සිදුකරමින්   මගීන්ට වඩා වැඩි පහසුකම් ලබා දීමට කටයුතු යොදා තිබේ.

    2018 සැප්තැම්බර් මස අවසන් වන විට ගත වූ මාස 9 යක කාලය තුළදී ඕස්ට්‍රේලියානු සංචාරකයන් 78,756 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. තවත් නවසීලන්තිකයන් 9,811 ක් මෙල්බන් නුවර හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 2018 වසරේ මුල් මාස 9 තුළ නවසීලන්ත සංචාරකයන්ගේ පැමිණීම 13.5% කින් වර්ධනය වී තිබේ. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට අමතරව විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ශ්‍රී ලාංකික සිසුන් වැනි  තවත් දහස් ගණනක් මෙම සංචාරකයින්ගේ සංඛ්‍යාවට ඇතුළත් නොවේ.  ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලංකාවෙන් පිටත විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාවක් ජීවත් වන රට වන අතර, ඒ අතරින් වික්ටෝරියා ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශය ආසන්නයේ 50% ක් පමණ ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙති. මේ වන විට මෙල්බර්න් ඔවුන්ගේ ගුවන් ගමන් පිටත්වීම් සහ සංචාරයන් සඳහා පහසු ස්ථානයක් බවට පත් වී ඇත.

    මෙල්බර්න් සේවාවේ වැදගත්කම තව තවත් තහවුරු කරමින්  ශ්‍රීලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියා ජාතික ගුවන් සේවය  සහ වන්වර්ල්ඩ් ගුවන් සමාගම් සන්ධානයේ සාමාජිකයෙකු වන Qantas, අතර ඇති හුවමාරු ගිවිසුම මගින් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රධාන නගරවල එනම් ඇඩිලේඩ්,  බ්‍රිස්බේන්,  සිඩ්නි සහ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් වෙත පියාසර කිරීමට සම්බන්ධතා රැසක් මගීන්ට ලබා දෙයි.

    සමස්ත දකුණු ආසියානු කලාපයට සම්බන්ධ වන පරිදි   ඉන්දියාව සහ මාලදිවයින වෙත විශාලතම මෙහෙයුම් සිදුකරන විදේශීය ගුවන්යානය වන ශ්‍රීලංකන් හරහා ඹ්ස්ට්‍රේලියානු සංචාරකයන්ට කොළඹට සෘජු සම්බන්ධතාවයක් භාවිත කිරීමේ පහසුකම සැලසී තිබේ. මේ වන විට නිවාඩුව ගත කිරීම සඳහා මෙන්ම සිය ඥාතීන් හමුවීම සඳහා  ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ පිළීබඳව නිවැරදි  සංඛ්‍යා ලේඛන ක්ෂණිකව ලබා ගත නොහැකි වී තිබේ.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී  මෙල්බර්න් වෙත ශ්‍රිලංකන්  සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු  ගුවන් සමාගමේ  මෙහෙයුම්  වාණිජමය ලෙස සාර්ථකව සිදු වූ අතර මෙම සාර්ථකත්වය සඳහා  අලෙවිකරණ ක්‍රියාකාරකම් තුළින්  විශාල දායකත්වයක් හිමිවී ඇත.

    තවද ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම  වෙනුවෙන් දියත් කරන ලද  ප්‍රවර්ධන වැඩසටහන වන  “එකම ජීවයෙන්  යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (“Two Cities, One Spirit) 2018 ලෝක සංචාරක සම්මාන උළෙලේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාරය ලෙස සම්මාන දිනාගත් අතර එය මේ වසරේ බර්ලින් නුවර පැවති ITB වෙළඳ ප්‍රදර්ශනයේ ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ First Star සම්මානයක් දිනාගැනීමට සමත් විය

    ශ්‍රීලංකන්  ගුවන් සේවය  මෙල්බර්න් වෙත මෙහෙයුම් ඇරඹීමේ පළමු සංවත්සරය සමරමින් දෙවන වරටත් මෙඩිබෑන්ක් මෙල්බර්න් මැරතන් උළෙලේ (Medibank Melbourne Marathon Festival 2018) අර්ධ මැරතන් තරඟය අති සාර්ථකව පසුගියදා පවත්වන ලදී. වසරක 41 ක තරඟ ඉතිහාසය තුළ 34,734 වැනි වාර්තාගත ධාවකයන් පිරිසක් ඉසව් 5 ක් ඔස්සේ මෙවර තරඟ කළ අතර , ශ්‍රීලංකන් අර්ධ මැරතන් තරඟය, උපරිම ධාවකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් විය. ධාවකයින් 12000 ගේ සහභාගීත්වයකින් පැවති මෙම තරඟයේ දී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරඟ නියෝජනය කළ බ්‍රෙට් රොබින්සන් Brett Robinson ( 1:04:15) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ මෙලනි පැනයියෝටෝ Melanie Panayiotou (1:15:17) විසින් අර්ධ මැරතන් තරඟයේ පිරිමි හා කාන්තා කාණ්ඩයේ ජයග්‍රහනය හිමිකරගන්නා ලදී.

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලියුකේමියා රෝගයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සර් ඉයන් බොතම් දියත් කළ “Beefy’ Trek Down Under,” පුණ්‍ය පාගමනේ සාඩම්බර අනුග්‍රාහක දායකත්වය ලබාදෙනු ලැබීය. මේ සඳහා මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි සුන්දර ගමනාත්තයක් වෙත පියාසර කර එහි සංස්කෘතිය සහ සුන්දරත්වය අතිවිඳීන ලෙසද මෙහි දී ඔස්ට්‍රේලියානු සංචාරකයන් දිරිමත් කරන ලදී.

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  111 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.

    ශ්‍රීලංකන් ගුවන්  සමාගම සිය  විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් දෙවැනි වරටත් ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත  ඇගයුම් කර සම්මාන ලබාදීමේ  වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association (APEX)  සම්මාන උළෙලේ දී   තරු හතර පංතියේ  (Four Star) සේවා ඇගයුම් ලැබීමට  පසුගියදා සමත් විය. ජාතික  ගුවන් සේවය වන ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයක් ලබාගැනීමට සමත් වූ අතර ඒවා නම් “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018  වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය”සඳහා   වන සම්මාන වේ.