මෙල්ස්ටා රීගල් ෆීනෑන්ස් හිමිකම් කොටස් නිකුතුවක්

    June, 30, 2014

    මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් සමාගම හිමිකම් කොටස් නිකුතුවක් ඔස්සේ රුපියල් මිලියන 650 ක අතිරේක ප‍්‍රාග්ධන මුදලක් රැස්කරමින් එහි ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 1.3 දක්වා ඉහළ දමන ලදි.

    මෙල්ස්ටා රීගල් මව් සමාගම වන මෙල්ස්ටාකෝප් සමාගම විසින් මෙම නව ප‍්‍රාග්ධන හඳුන්වාදීම කරනු ලැබුයේ ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වාදුන් නව රෙගුලාසි යටතේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන්ට අනුකූල වීමක් වශයෙනි. ශ‍්‍රී ලංකා මහා බැංකුව මෑතදී සංශෝධිත රෙගුලාසි වලට අනුව බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම තුළින් රටේ මූල්‍ය අංශය ස්ථාවර කිරීමේ අරමුණ සමඟ මෙය සම්බන්ධ වේ.

    සමාගමේ අනාගත සංවර්ධන සැලසුම් සඳහා මෙම නව ප‍්‍රාග්ධන නිකුතුව වැදගත්වන බව නව ප‍්‍රාග්ධන එක් කිරීම නිවේදනය කරමින් මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් හී සභාපති අමිත ගුණරත්න මහතා කීය.

    ‘‘මෙම ප‍්‍රාග්ධන නිකුතුව 2016 ජනවාරී තෙක් ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් පනවන ලද ප‍්‍රාග්ධන අවශ්‍යතාවන්ට අනුකූල වීම අරමුණු කර ගෙන සිදු කරන ලද්දකි. තවද මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමෙහිලා ශ‍්‍රී ලංකා මහා බැංකුව දියත් කරන ක‍්‍රියාදාමය කෙරේ අපගේ කැපවීම සහ සහාය මෙමගින් මනාව පැහැදිලි වේ. එපමණක් නොව සමාගම ආරම්භයේ සිටම අපි අඛණ්ඩ වර්ධනයක් කරා ගෙන ගියෙමු.’’ තවදුරටත් අදහස් දක්වමින් මෙම ප‍්‍රාග්ධන එක් කිරීම මෙල්ස්ටා රීගල් සමාගමට එහි ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට මෙන්ම වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට එහි සේවාවන් ලබා දීමේ හැකියාව සැලසෙනු ඇතැයි ඔහු පැවසුවේ ය.

    මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් හී වර්ධනය සහ ස්ථාවරත්වය උදෙසා අවශ්‍ය පරිදි අතිරේක ප‍්‍රාග්ධනය යෙදවීම සඳහා මෙල්ස්ටාකෝප් ලිමිටඞ් කැපවී සිටින බව ඔහු පැවසීය. ප‍්‍රාග්ධන වැඩි කිරීම තුළින් තම සමාගමට විශාල මූල්‍ය පහසුකම් පිරිනැමීමේ අවස්ථාව උදා වන බැවින් මධ්‍යම සහ විශාල පරිමාණ ගනුදෙනුකරුවන් ද ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ලබා දෙන බව ගුණරත්න මහතා තවදුරටත් කීය.