මේ දවස්වල ගොඩ යන්නේ නොරොච්චෝලේ නිසා -විදුලි බල මණ්ඩල සභාපති

    April, 18, 2014

    දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැස්ස ලැබුණත් බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැස්ස ලැබී නොමැති බවත් මේ වනවිට ජල විදුලිය උත්පාදනය සියයට 10 ක් දක්වා පහත වැටී තිබෙන බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ ඉන්ධන හා ගල් අඟුරු මගින් විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 90 ක්ම නිපදවීමට සිදුව තිබෙන නිසා මේ වනවිට දැවැන්ත වියදමක් දැරීමට සිදුව තිබෙන බවයි.

    “පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටම බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැස්ස ලැබුණේ නෑ. කවුරු මොනව කිව්වත් මේ වනවිට විදුලිය කප්පාදු නොකර සිටීමට හැකිවී තිබෙන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා. මෙම බලාගාරයෙන් මේ වනවිට දිනකට මෙගාවොට් 600 ක විදුලිය ප්‍රමාණයක් උත්පාදනය කරනවා.“

    යනුවෙන් ගනේගල මහතා පැවසීය.

    සාමාන්‍යයෙන් මෙරට දිනක විදුලිය අවශ්‍යතාවය මෙගාවොට් 2000 ක් පමණ වන අතර මේ දිනවල අවුරුදු නිවාඩුව නිසා එම අවශ්‍යතාවය යම් පමණකට අඩුවී තිබේ.

    මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන්නේදැයි විමසූ අවස්ථාවේදී ගනේගල මහතා පැවසුවේ කිසිදු ආකාරයෙන් විදුලිය කප්පාදුවක් කිරීමට කටයුතු නොකරන බවයි.