මොරිසන්, කොටස් වෙළෙඳපොළට සමුදෙයි

    August, 20, 2018

    ඖෂධ නිෂ්පාදන හා අලෙවි කර්මාන්තයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන මොරිසන් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

    ඖෂධ, සනීපාරක්ෂක නිෂ්පාදිත, ආහාර නිෂ්පාදිත, කෘෂි රසායන හා පශු නිෂ්පාදිත, නිෂ්පාදනයේ ආනයනයේ හා බෙදාහැරීමේ නිරත මොරිසන් පීඑල්සී, මීට පෙර හඳුන්වනු ලැබුවේ, ජේ.එල්. මොරිසන් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) ලිමිටඩ් යනුවෙනි.

    2013 ජූලි මාසයේ දී මොරිසන් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය, හේමාස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන හේමාස් මැනුෆැක්චරීන් (පුද්) සමාගම විසින් අත්පත් කරගන්නා ලදී.

    කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් මෙම තීරණයත් සමඟින්, මොරිසන් පීඑල්සී හි සෙසු කොටස් හිමියන්ට සිය කොටස්, හේමාස් මැනුෆැක්චරීන් වෙත සම්පූර්ණයෙන් විකුණා දැමීමේ අවස්ථාව උදා වී තිබේ.

    එහිදී මොරිසන් සමාගමේ ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටසක් වෙනුවෙන් රු. 850 ක් හා ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටසක් වෙනුවෙන් රු. 700 ක් බැගින් ගෙවීමට හේමාස් මැනුෆැක්චරීන් කටයුතු කරනු ඇත.