මෝටර් රථයක් විකිණීමෙන් ලැබෙන ලාභයට බදු ගෙවන්න වෙනවා ද?

    June, 24, 2026

    යම් අයෙකු සිය පෞද්ගලික මොටර් රථය විකිණීමෙන් ලබන ලාභය වෙනුවෙන් ප්‍රාග්ධන බදු ගෙවිය යුතුද යන්න මේ දිනවල බොහෝ දෙනා විමසනු ලබන කරුණකි.

    මේ සම්බන්ධයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතට සිදුකර ඇති සංශෝධනයක් මගින් ඒ පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.

    ඒ අනුව, දේශීය ආදායම් පනතේ 8 වන වගන්තියේ කාර්යයන් සඳහා මෝටර් වාහන උපලබ්ධි වීමෙන් ලැබෙන ලැබීම්, වෙනත් ආදායම් ලෙස නොසැලකිය යුතු ලෙස දක්වා ඇත. එම නිසා, වෙළෙඳ තොග හෝ දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් ලබන ක්ෂය විය හැකි වත්කම් නොවන මෝටර් වාහන උපලබ්ධි වීමෙන් ලැබෙන ලැබීම්, තක්සේරු කළ හැකි ආදායම් මූලාශ්‍ර යටතේ ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එසේම එම මොටර් වාහන උපලබ්ධි වීමෙන් සිදුවන පාඩු, අඩු කිරීම් ලෙස ඉඩ දෙනු නොලබනු (මෙම සංශෝධනය 2024.04.01 වන දින සිට ක්‍රියාත්මක වේ), වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් එන්.සී. විජේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.

    “මීට කලින් අපේ තිබුණු පදනම තමයි එය, වෙනත් ආදායමක් විදියට Tax කළා. ඒ තත්ත්වය ඉවත් කරලා තියෙනවා මේ සංශෝධන පනතින්. ඒ නිසා තමන්ගේ පෞද්ගලික කාර් රථය හෝ ගෙදර තියෙන වාහන විකිණීම මත එන ලාභ 2024 අප්‍රේල් 01 සිට මෙය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කාලය තුළ ලබපු ලාභයක් තියෙනවා නම් ඒක බදු අයවෙන්නේ නැති ලාභයක්.“