යුද්දෙන් පසුව නව ආර්ථිකයකට අපි ගියේ නැහැ. බැණුම් අහලා හරි ආර්ථිකය හැදුව නිසා ඉදිරියට යන්න පුළුවන් – අගමැති රනිල්

    June, 25, 2019

    යුද්ධය අවසන් වූ පසු ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා නොගිය බවත්, ණය ලබාගෙන පාරවල් සෑදීමෙන් පමණක් රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (24) මුතුරාජවෙල ලංකා ඛනිජ තෙල් සංස්ථා පර්යන්තයේ ඉදිවූ Hyrax ලිහිසි තෙල් සම්මිශ්‍රණාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

    “හයිරෙක්ස් ලිහිසිතෙල් කර්මාන්ත ශාලාව ලංකාවට පැමිණීම අපිට වැදගත් දිනයක්. අපේ කර්මාන්තකරණයේ නවීන කර්මාන්ත කරණයේ කොටසක්. අපි ඉදිරියට යන්න ඕනේ. විශේෂයෙන්ම මේවායේ ආයෝජනයෙන් දේශීය පමණක් නොවෙයි, විදේශ ආයෝජනයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්.“

    “ඇත්ත වශයෙන්ම මේ රටේ කර්මාන්ත ශාලා, බ්‍රිතාන්‍ය කාලයේ ඉඳන් තිබුණා. ඒත් ලෝක වෙළෙඳපොළ සමඟ එකතුවෙලා නියම කර්මාන්තකරණය අපි කළේ ජේ.ආර්. ජයවර්ධණ මැතිතුමාගේ විවෘත ආර්ථිකය සමඟ අපි ඉදිරියට ගියා. එදා මැලේසියාව සිංගප්පූරුව අපි ඔක්කෝම එකට හිටියා. අවුරුදු 35ක යුද්ධයක් නිසා අපි පස්සට ගියා.  ලංකාව දිහා බලලා සිංගප්පූරුව මැලේසියාව රටවල් ඉදිරියට ගියා. මේක අපේ වරදක්.“

    “යුද්දේ ඉවර වුණා කියලා අපි ඉදිරියට ගියේ නැහැ. අපේ ආර්ථිකය හැදුවේ නැහැ. අපි යුද්දෙන් පස්සේ නව ආර්ථිකයකට ගියේ නැහැ. පාරවල් හදලා , යටිතල පහසුකම් , ණය අරගෙන හදන්න තමයි අපි බලාපොරොත්තු වු‍ණේ. හැමදාම ඒකෙන් ජීවත් වෙන්න බැහැ. රටක් ගෙනියන්න බැහැ.“

    “2014 වෙනකොට මේ රටට ණය ගන්න ශක්තියක් තිබුණේ නැහැ. අපිට ණය දෙන්න ශක්තියක් තිබුණේ නැහැ. කවුරුත් ණය දෙන්න කැමති වුණේ නැහැ. අන්න එහෙම අවස්ථාවක දී තමයි, ආණ්ඩුවක් අපි භාර ගත්තේ. අමාරුවෙන් භාර ගත්තා. පළවෙනි අවුරුද්දේ අමාරුවෙන් ණය ගෙව්වා. ඒත ඒක කරන ගමන් පඩි වැඩි කළා. ටිකෙන් ටික විශ්වාසය ආවා. දැන් ආර්ථිකය හැදිලා එනවා. තවත් අපිට ණය ගන්න තියෙනවා, නමුත් අපිට ණය ගෙවන්න පුළුවන්.“

    “ගිය මාස දෙකේ දී අපිට ඩොලර් මිලියන 2,000 ක් වුවමනා වුණා. අද ඒ ඩොලර් මිලියන දෙදාහා ලන්ඩන්, නිව්යෝර්ක්වලින් ඉල්ලනවා. සමහරු කිව්වා එහාට යන්න එපා, පාස්කු බෝම්බෙන් පස්සේ සල්ලි හම්බු වෙන්නේ නැහැ කියලා. තාම ඒ වැඩකටයුත්ත අවසන් වෙලා නැහැ. ඇමරිකාවේ වෙළෙඳපොළෙවල් වහලා නැහැ. ඒත් එන ආරංචිය අනුව, හෙට උදේ පුදුම වෙනවා, කී දෙනෙක් ලංකාව කෙරෙහි විශ්වාසය තිබ්බද කියලා, මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ. මං ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.“

    “එහෙනං අපිට ඊළඟ මාස කිහිපයට ඉදිරියට ගෙනියන්න ඕනෑ ණය මුදල ලැබිලා තියෙන්නේ, අමාරුවෙන් හරි බැණුම් අහලා හරි, ආර්ථිකය හැදුව නිසා. මේක දාලා පැනලා යන්න අපි කාටවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.“