යුනයිටඩ් මෝටර්ස් කොටස් කුට්ටියක් විදේශීය ආයෝජකයින් අතට

    May, 21, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 32.29 කින් පහළ ගොස් ඒකක 6,289.32 ක් වෙද්දී එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක ඒකක 14.26 කින් පහළ ගොස් ඒකක 3,456.84 ක් විය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් සියයට 2.7 කින් පහළ ගොස් රුපියල් 47 ක්ද, කොමර්ෂල් බැංකුවේ කොටසක් සියයට 1.2 කින් පහළ ගොස් රුපියල් 126.50 ක්ද, සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටසක් සියයට 4.4 කින් පහළ ගොස් රුපියල් 1300 ක්ද වී ඇත.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 944 කි. යුනයිටඩ් මෝටර්ස් සමාගමේ කොටස් මිලියන 3.26 ක් එකක් රුපියල් 119.60 ක් බැගින් ගිවිසගත් ගනුදෙනුවක් ලෙස හුවමාරු වූ අතර හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 0.61 ක් එකක් රුපියල් 157 ක් බැගින් හුවමාරු වූයේ ගිවිසගත් ගනුදෙනුවක් ලෙසිනි.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුමට වැඩිම දායකත්වයක් යුනයිටඩ් මෝටර්ස් සමාගම ලබාදුන් අතර එය රුපියල් මිලියන 391 කි. හැටන් නැෂනල් බැංකුව පිරිවැටුමට රුපියල් මිලියන 95 ක දායකත්වයක් සහ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 74 ක දායකත්වයක් ලබාදුන්නේය.

    අද දිනයේ පිරිවැටුමෙන් සියයට 51 ක්ම ගිවිසගත් ගනුදෙනු මගින් ලැබීම කැපී පෙනේ.

    අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් මිලදී ගනිමින් රුපියල් මිලියන 496 ක ශුද්ධ කොටස් මිලදීගැනීමක් කළ අතර විදේශීය සහභාගීත්වය සියයට 45 කි. යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රුපියල් මිලියන 389 ක කොටස්, ජෝන් කීල්ස් සමාගමේ රුපියල් මිලියන 40 ක කොටස්, ඩිස්ටිලරීස් සමාගමේ රුපියල් මිලියන 37 ක කොටස්, විදේශීය ආයෝජකයින් මිලදීගත් අතර කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 07 ක කොටස් විකුණා දැමීය.