යුරෝපයට භාණ්ඩ යැවීමට ජීඑස්පී ප්ලස් සහනය යළිත් ශ්‍රී ලංකාවට

    January, 11, 2017

    යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් සහ යුරෝපීය වෙළෙඳපොළ වෙත පිවිසීමට ඇති ප්‍රස්ථාවන් තවදුරටත් වර්ධනය කරමින්, ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් වරක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින් අද දිනයේ දී නිල වශයෙන් දැනුම් දෙන ලදී.

    මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහ පාලනය යන සංරචක යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27 ක් වෙනුවෙන් දක්වන ලද සාධනීය කැපවීම හමුවේ යුරෝපානු කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබේ.

    මෙම වෙළෙඳ වරණාත්මක සහනය හමුවේ ඇඟළුම් හා මත්ස්‍ය නිෂ්පාදන අපයනය ඇතුළු බදු අයකරන අංශවලින් 66% ක් වෙනුවෙන් ආනයනික බදු ඉවත් කෙරෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපානු කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මල්ම්ස්ට්‍රොම් මෙසේ පැවසීය. “GSP+ සහනය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් සපයනවා. මේ නිසා යුරෝපානු වෙළෙඳපොළ වෙත ඔවුන් ගේ භාණ්ඩ අපනයන තවදුරටත් වර්ධනය කරන්න අවස්ථාව හිමිවෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී තවදුරටත් දියුණු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“