යුරෝපීය ආර්ථිකයේ ඉරණම ලියැවෙන දවස අදයි

    June, 23, 2016

    සාමාජික රටවල් 28 කින් සමන්විත ලොව බලවත් කලාපීය දේශපාලන-ආර්ථික එකමුතුවක් වන යුරෝපානු සංගමයට අද දවස තීරණාත්මක එකක් වී තිබේ. ඒ එහි විශාලතම සාමාජිකයා වන බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුද නැතිනම් ඉන් ඉවත්විය යුතුද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පැවැත්වෙන ජනමත විමසීම අද දිනයේ දී පැවැත්වෙන බැවිනි.

    සමස්තයක් ලෙස ගත් කළ මෙය ගෝලීය වශයෙන් බලපෑම් රැසක් ඇති කරලීමට හේතුවනු ඇතැයි විශේලේෂකයෝ පෙන්වා දෙති. යුරෝපා සංගමය පිහිටුවනු ලැබූ අවස්ථාවේ බ්‍රිතාන්‍ය හැරෙන්නට සෙසු සියලු රටවල් පොදු මුදල් ඒකකයක් කරා යොමු වීමට පියවර ගනු ලැබීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ සිය ආර්ථික අනන්‍යතාවය තවදුරටත් රැකගනු වස් සිය ස්ටර්ලිං පවුම, යූරෝවට යටත් නොකිරීමට වග බලාගත්හ.

    අද පැවැත්වෙන ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයින් පැහැදිලිවම පිල් දෙකකට බෙදී ඇත. ද ටෙලිග්‍රාෆ් විසින් අනාවරණය කර ඇති නවතම පුරෝකථනයන්ට අනුව බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුය යන මතයෙහි ජනතාවගෙන් 51% ක් සිටින බවත් ඊට ප්‍රතිවිරුද්ධව 49% ක් සිටින බවත් සඳහන් වේ.

    බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුය යන පිලට නායකත්වය දෙනු ලබන්නේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසිනි. එසේම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුය යන පිලට නායකත්වය ලබා දෙන්නේ හිටපු ලන්ඩන් නගරාධිපතිවරයෙකු වන බොරිස් ජොන්සන්ය. මේ පිළිබඳව බොරිස් ජොන්සන් කියා සිටින්නේ යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිය රටෙහි තීරණාත්මක සංධිස්ථානයක් බවයි. එසේම එම තීරණය ප්‍රජාත්නත්‍රවාදයේ ජයග්‍රහණයක් බවද ඔහු කියා සිටී.

    ප්‍රධාන වශයෙන් යුරෝපානු සංගමය විසින් සරණාගතයින් පිළිබඳව අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙත බ්‍රිතාන්‍යයින් ඉන් ඉවත්වීමට මුලපිරීම කෙරෙහි බලපෑවේය. යුරෝපානු සංගමය තුළ අත්දකින ප්‍රධාන ප්‍රතිපත්තියක් නම් එහි සාමාජික රටවල් අතර නිදහසේ සැරිසැරීමට ඇති හැකියාවයි. මෙකී තත්ත්වය තුළ වෙනත් සාමාජික රටකට ඇතුළුවන්නෙකුට අපහසුවකින් තොරව බ්‍රිතාන්‍ය තුළට ද ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ. බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට මෙය පත් වී ඇත. මීට අමතරව යුරෝපා සංගමය වෙත බ්‍රිතාන්‍ය විසින් ගෙවනු ලබන බදුවලට සපේක්ෂව ලැබන ප්‍රතිලාභ අල්ප බව, බ්‍රිතාන්‍ය යුරෝපානු සංගමයෙන් ඉවත්විය යුතුය යන කණ්ඩායමේ අදහසයි.

    ශ්‍රී ලංකාවේ අපට ද බ්‍රිතාන්‍යයේ අද දවස තීරණාත්මක වනු ඇත. යුරෝපානු සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළකි. මෙතෙක් කලක් ආවෘත්ත වූ යුරෝපානු වෙළෙඳපොළ වෙත මත්ස්‍ය අපනයනය පසුගියදා විවෘත වූ අතර එහි දී පළමු මතස්‍ය තොගය ද යුරෝපය වෙත අපනයනය කෙරිණි. මීට අමතරව යුරෝපය විසින් ලබා දෙන GSP + තීරුබදු සහනය යළිත් වරක් අත්පත් කරගැනීමේ ආසන්න අවස්ථාවකට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමයට කරනු ලබන අපනයනවලින් 40% ක පමණ ගමන්නාන්තය වනුයේ බ්‍රිතාන්‍යයයි.

    මේ පසුබිම තුළ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම, ශ්‍රී ලංකාවට සෘජු බලපෑම් එල්ල කිරීමට ඇති ඉඩකඩ වැඩිය. මෙහිදී අද පැවැත්වෙන ජනමත විමසුමේ ප්‍රතිඵලය, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තුඩු දේ නම් GSP + තීරුබදු සහනය පිළිබඳ අපගේ බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාද වීමට ඉඩකඩ බොහෝය. එමෙන්ම එම සහනය තවදුරටත් බ්‍රිතාන්‍ය වෙත භාණ්ඩ අපනයනය සඳහා වලංගු ගිවිසුමක් නොවනු ඇත. එහිදී බ්‍රිතාන්‍ය සමඟ තනි ගිවිසුමකට යාමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. මෙමඟින් අපගේ අපනයන වෙළෙඳපොළ වෙත අහිතකර බලපෑමක් එල්ල කිරීමට ඇති ඉඩකඩ වැඩිය. මන්ද යත් යුරෝපීය වෙළෙඳපොළ වෙත යන ශ්‍රී ලංකා අපනයනවලින් 40% ක් පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තනි රාජය්‍යකට ලැබෙන බැවිනි.

    තව පැය කිහිපයක් තුළ දී මේ පිළිබඳ අවසන් තීරණය අපට දැකබලා ගත හැකිවනු ඇත.