රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි

    January, 17, 2019

    2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ  කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ  සියළු වාහන ද මෙම බද්දට යටත් වේ. මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණි.

    රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    රජය විසින් නිකුත් කරනු ලැබූ 2018  අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර ඇත.

    සෑම මෝටර් රථයක්ම  ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර  වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේ මෙම බද්ද අය කරනු ලබයි.

    වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු  ලබයි.

    මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සදහා රුපියල් 1000/-ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000/-ක්ද, වසර 10කට වඩා  පැරණි බස්රථ සඳහා රුපියල් 3000/-ක්  වන පරිදී බදු ගෙවිය යුතු වේ.

    වත්මන් රජයේ නීල හරිත ආර්ථික දැක්ම පදනම් කරගත් ආර්ථීක වැඩපිළිවෙල යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස  පාරිසරික අවදානම අඩු අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා මෙම  බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි.

    (මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)