රජයේ සුරැකුම්පත් විදෙස් අයිතිය හරි අඩකින් අඩු කිරීමේ සැලැස්මක්

    January, 3, 2019

    රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන හිමිකාරීත්වය 5% ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (02) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 දෙසැම්බර් 26 දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුවලට අනුව දැනට නිකුත් කර තිබෙන රජයේ සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 5.29 ක් හෙවත් ඩොලර් බිලියන 28.95 ක් වන අතර එයින් 3.1% ක හිමිකාරීත්වය විදේශිකයන් සතුව පවතී. කෙසේ වෙතත් 2018 වර්ෂය තුළ දී ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු රජයේ සුරැකුම්පත්වල සිය ආයෝජන ඉවත් කර ගැනීමට විදේශිකයින් විසින් පියවර ගෙන තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ සිදුවන උච්ඡාවචනයන් ඉහළ යන තත්ත්වය තුළ රජයේ සුරැකුම්පත්වල ඇති විදෙස් ආයෝජන සියයට 10 මට්ටමේ සිට සියයට 5 මට්ටම දක්වා ගෙන ඒමට පියවර ගන්නා බවයි. “ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාවන් තුළ විදෙස් ආයෝජකයින් ඉතා වේගයෙන් ආයෝජන පිළිබඳ තීරණ ගනු ලබනවා. එවැනි තත්ත්වයක් තුළ සුරැකුම්පත් හිමිකාරීත්වය විශාල වශයෙන් විදෙස් ආයෝජකයින් වෙත නිරාවරණය වීම වැළැක්වීම සඳහා මේ පියවර ගන්නවා“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.