• 5 years leave
  • Ada Derana BIZ Sinhala
  • employment
  • go abroad
  • government officials
  • sri lanaka

රජයේ ‌නිලධාරීන්ට රට රස්සාවලට යාමට වසර 05ක නිවාඩුවක්

June, 15, 2022

අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරියෙකුට සිය සේවා කාලය තුළ උපරිම වශයෙන් වර්ෂ 05ක කාලසීමාවකට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට දැනට පවතින විධිවිධාන අනුව හැකියාව තිබේ.

එහෙත්, එකී කාලසීමාව විශ්‍රාම වැටුප් ගණනය සඳහා සැලකිල්ලට නොගැනීම, ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදු වීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබාගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වනු නොලබයි.

රට තුළ දැනට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රජයේ නිලධාරින්ට විදේශ රැකියාවක නිරත වීම හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරත වීම සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට අගතියක් නොවන පරිදි වර්ෂ 05ක කාලයකට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධනය කරමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.