May, 7, 2019
අද වන විට මෙරට හෝටල් කර්මාන්තය මුහුණ පා ඇති බරපතල අර්බුදකාරීත්වය හමුවේ රටපුරා හෝටල් 75% ක් පමණ හිස් වී ඇති බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසයි. මෙම තත්ත්වය තුළ මෙරට හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය වෙත සැලසුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සනත් උක්වත්ත මහතා මේ බව පැවසීය.
“අපේ ප්‍රමුඛ අධිෂ්ඨානය තමයි සියලූම හෝටල්වල සේවක වැටුප් සහ අනෙකුත් දීමනා අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න. ඒකට අපි ආණ්ඩුවට සැලැස්මක් දීලා තිබෙනවා. හෝටල් වැඩි විදයමක් දරන්න වෙන ආයෝජනයක්. ඒ වෙනුවෙන් අරගෙන තිබෙන ණය ගැන යම්කිසි කල් ගැනීමක් ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හෝටල්වල සේවකයින්ගේ ණය සහ ණය පොළී සඳහා අවුරුදු දෙකක කල්ගැනීමක් අපි ඉල්ලා තිබෙනවා.“
“තවද රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ සිද්ධීන්ගෙන් පැනනඟින ප්‍රතිඵල පාලනය කර ගැනීම සඳහා යම්කිසි ශක්තිමත් යාන්ත්‍රණයක් දියත් කරන්න. අද එක එක්කෙනා එක එක දේවල් ප්‍රකාශ කරනවා. එක ප්‍රකාශනයක් සංචාරකයන්ට දුන්නොත් සංචාරකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට පහසු වේ කියා අපි සිතනවා. මේ කරුණ ඉටු කර ගන්න රජයෙන් අපි ඉල්ලා සිටිනවා වහා ක්‍රියාත්මක කරන්න කියලා යම්කිසි යාන්ත්‍රණයක් මේ පුකාශ එක් හඬකින් එක් තැනකින් සිදුකරන්න.“
මෙහිදී සනත් උක්වත් මහතා කියා සිටියේ, මේ දක්වා යාවත්කාලීන කරන ලද ආරක්ෂක පියවර සහ රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි පරිපූර්ණ වාර්තාවක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලෙස තම සංගමය විසින් ඉල්ලා සිටින බවයි. මේ වන විට රටවල් ගණනාවක රජයන් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර ඇති විදෙස් රටවල රජයන් වෙත නවතම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමෙන් මෙම සංචාරක වාරණ ඉවත් කර ගැනීමට සහායක් ලැබෙනු ඇති බවද ඔහු මෙහිදී පැවසීය.
“ඒ වගේම ලබා ගෙන ඇති සියලූම ණය වෙනුවෙන් වසරක කාලයක් සඳහා පොළී අයකිරීම සම්පූර්ණයෙන් ඉවත් කරන්න ලෙසත්, වසර දෙකක කාලයක් සඳහා හෝටල්වල මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් ප්‍රවාහ වෙනුවෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පාදනය සඳහා වසර දෙකකට සහන ණය ලබා දෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.“
තවද මෙම කර්මාන්තය සාමාන්‍ය තත්ත්වයකට එනතුරු හෝටල්වලින් අයකරනු ලබන ආදායම් බදු ඇතුලු ඉහළ බදු අයකිරීම් යළි සලකා බලන ලෙසත්, ආනයනය කරනු ලබන ඉලෙක්ට්‍රොනික් ස්කෑනර්, metal detectors වැනි සියලූම ආරක්ෂක උපාංගවල ආනයනික බදු ඉවත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.
Video Story