රට පුරා යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 3.7 ක්

    May, 2, 2016

    පාර්ලිමේන්තුවේ සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ කර ගනිමින් මෙරට තුළ යටිතල පහසුකම් සංවර්ධනයට විමධ්‍යගත මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    මෙම වැඩපිළිවෙල සඳහා රජය වැය කරන මුළු මුදල රුපියල් බිලියන 3.7 කි.

    ගරු අග්‍රාමාත්‍යතුමන් පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන 100% කින් ඉහළ නංවන බවයි.

    එය යථාර්ථයක් බවට පත් කරමින් මෙතෙක් එක් මන්ත්‍රීවරයෙක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන රුපියල් මිලියන 10 ක් දක්වා වැඩි කිරීම ගරු මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව දන්වා ඇත.

    ඒ අනුව, පසුගිය 2015 වසර සඳහා නියමිත රුපියල් මිලියන 05 සහ 2016 වසර සඳහා හිමි රුපියල් මිලියන 10 ප්‍රතිපාදනය සමග එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා රුපියල් මිලියන 15 ක් හිමි වේ.

    නව රජය ක්‍රියාත්මක කරන විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනේ විශේෂත්වය වනුයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දී ගරු මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතා අදහස්වලට ප්‍රමුඛත්වය ලබාදීමයි.

    විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදීමේ පුළුල් වැඩපිළිවෙල ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

    ප්‍රජාශාලා, මංමාවත්, ජල විදුලි ව්‍යාපෘති, ධීවර තොටුපල ඇතුළු ජනතාව විසින් ප්‍රමුඛත්වය ලබාදෙන ව්‍යාපෘති මෙම ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    විමධ්‍යගත ප්‍රතිපාදන වැඩපිළිවෙල පුළුල් ලෙස අධීක්ෂණය කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක්ද ස්ථාපිතයි.

    මෙම විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදීමේ වැඩපිළිවෙලට සමගාමීව ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් සෑම ගමකටම රුපියල් දසලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙලද රජය විසින් ආරම්භ කර තිබේ. ඒ සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් බිලියන 13.3 කි.

    රටේ සංවර්ධන ක්‍රියාවලිය නැවතී ඇති බවට හුදු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් විපක්ෂයේ ඇතැම් පාර්ශව මතු කරන පදනම් විරහිත මතවාද මේ සමග පුස්සක් වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.