රට වසා තිබූ කාලසීමාව තුළ සියලු ආකාරයේ බදු සම්බන්ධ දඩ මුදල් නිදහස් කිරීමට තීරණයක්

    June, 25, 2020

    පශ්චාත් කොවිඩ් - 19 ආර්ථික පුනර්ජීවනය සඳහා වූ බදු සහන ක්‍රියාමාර්ග
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 නොවැම්බර් මස 26 දිනැතිව ඉදිරිපත් කරන ලද 'ආර්ථිකය පුනර්ජීවන ආරම්භය' අමාත්‍ය මණ්ඩල සටහනට අදාළ තීරණය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වයන් සඳහා සරල, විනිවිදභාවයෙන් යුත්, කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එහෙත් කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් රටේ ආර්ථික කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් ඇති වී ඇති අතර, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් ලබා දෙමින්, ඔවුන්ගේ බදු බර සැහැල්ලු කිරීම පිණිස බදු පරිපාලනමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

    ඒ අනුව, 2020 ජුනි මස 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් කොවිඩ් - 19 හේතුවෙන් රට වසා තිබූ කාලසීමාව තුළ සියලු ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමටත්, එවැනි දඩ මුදල් නැවත අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබා දෙන ලදී.

    එකී සහනයට අමතරව පහත සඳහන් සහනයන් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දීමටත්, ඒ අනුව අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීමටත්, නීතිමය විධිවිධාන පනවනු ලබන තෙක් එම සහනයන් වහාම ක්‍රියාත්මක කිරීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * චේතනාන්විත බදු ගෙවීම පැහැර හැරීමක් සිදු වී නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සෑහීමට පත් වන්නේ නම් 2018/2019 තක්සේරු වර්ෂය දක්වා නිකුත් කරනු ලැබ ඇති තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදු නිදහස් කිරීම.

    * 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු ගෙවා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීම.

    * බදු අභියාචන‍ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු බැංකු ඇපකරය හෝ ආපසු නොගෙවනු ලබන මුදල ගෙවීම සඳහා ලබා දෙනු ලබන කාලය දීර්ඝ කිරීම.

    * දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ දැනමටත් එකඟ වී ඇති හිඟ/පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ප්‍රදානය කිරීම.

    * බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් මස 30 දක්වා අත්හිටුවීම.

    * 2020 මාර්තු මස 01 දින සිට 2020 ජුනි මස 30 දින දක්වා කාලයට අදාළ යම් බද්දක් ගෙවීම හෝ/සහ බදු වාර්තා ලබා දීම 2020 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිදු කිරීම සඳහා ඉඩ සලසා දීම සහ අදාළ බද්ද ගෙවීම/වාර්තාව භාර දීමට නියමිත දිනට සිදු කළා සේ සැලකීම.