• Ada Derana BIZ Sinhala
  • An increase
  • country's heroes
  • foreign exchange
  • received
  • sri lanaka

රට විරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමයේ ඉහළ යාමක්

June, 15, 2022

2022 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් හි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවකට අනුව පසුගිය මැයි මාසය තුළ දී වාර්තා වන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 304.1 ක් වේ. මෙය 2022 අප්‍රේල් මාසයේ ලද අගය වූ ඩොලර් මිලියන 248.9 ට වඩා 22.17% ක වර්ධනයකි.

කෙසේ නමුත් 2021 මැයි මාසයේ ලද ඩොලර් මිලියන 460.1 ක්වූ ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 2022 මැයි මාසයේ ලද ප්‍රමාණය 33.9% ක පහළ යාමක් වාර්තා කරයි.

වාර්ෂික පදනම මත ඩොලර්වලින් ලද ප්‍රේෂණ ලැබීම් හි පහළ යාමක් මැයි මාසයේ දී වාර්තා වුවද රුපියල් පදනම අනුව විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබීම සුවිශේෂී තත්ත්වයකි.

එනම් 2021 මැයි මාසයේ දී ලද ප්‍රේෂණවල රුපියල් වටිනාකම රු. බිලියන 91.8 ක් වන අතර එය 2022 මැයි මාසයේ දී රු. බිලියන 109.2 ක් දක්වා 19% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

2021 මැයි මාසය වන විට ඩොලරයක රුපියල් වටිනාකම රු. 203 ක් පමණ වූ අතර අද වන විට එය රු. 350-360 ක් දක්වා වැඩි වී තිබීම හේතුවෙන් මෙරටට විදේශ විනිමය එවනු ලබන පුද්ගලයින්ට වැඩි රුපියල් අගයයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබීම මීට හේතු වී ඇත.

2022 මුල් මාස 05 තුළ දී ලැබී ඇති විදේශීය ප්‍රේෂණවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1,335.6 ක් වන අතර එය රු. බිලියන 363.7 ක වටිනාකමකට සමාන වේ.