රට හදන සෞභාග්‍යයේ දැක්ම, නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය භාණ්ඩාගාර වෙබ් අඩවියට මුදා හරියි

    December, 16, 2019

    ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන රජයේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

    රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙන්ම සියලු රාජ්‍ය ආයතන ඔවුන්ගේ විෂය පථයට අදාළ කාර්යයන් හා ප්‍රතිපත්ති මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වනසේ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කෙරේ.

    2020 – 25 කාලපරිච්ඡේදය තුළ සාර්ව ආර්ථික වැඩපිළිවෙල යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5% ක් හෝ ඉහළ මට්ටමක පවත්වාගෙන යාම, ඇ.ඩො. 6,500 ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ළඟා කර ගැනීම ප්‍රධාන කොට මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තිය සකස්කර ඇත. මෙම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ පහත දස ප්‍රතිපදාවන්ගෙන් යුත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සබඳතා ඇතුළත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබේ.

    ඒ අනුව,

    1. ජාතික ආරක්ෂාවට මුල් තැන දීම
    2. මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම
    3. පිරිසිදු රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම
    4. ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීම
    5. ඵලදායී පුරවැසියෙක් සහ සශ්‍රීක මානව සම්පතක් ඇති කිරීම
    6. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් හඳුන්වා දීම
    7. තාක්ෂණය මත පදනම් වන සමාජයක් බිහිකිරීම
    8. භෞතික සම්පත් සංවර්ධනය කිරීම
    9. තිරසාර පරිසර කළමනාකරණයක් සිදු කිරීම සහ
    10. විනය ගරුක, නීති ගරුක හා ගුණගරුක සමාජයක් ඇතිකිරීම මෙම ජාතික ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ගත වේ.

    තවද, රැකියා විරහිත අනුපාතය 4% ක අඩු මට්ටමක හා උද්ධමන වේගය 5% ට අඩු මට්ටමක පවත්වාගෙන යාම මෙන්ම අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ට වඩා අඩු අගයක පවත්වා ගැනීමට අවශ්‍ය රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණයක්ද මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් අපේක්ෂා කෙරේ. පොලී අනුපාතය තනි ඉලක්කමකට පවත්වාගෙන ගොස් රුපියලේ අගය ස්ථාවර මට්ටමක තබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලද මෙම ප්‍රතිපත්ති රාමුව හරහා දියත් කිරීමට මාර්ගෝපදේශ සලසා තිබේ.

    ඒ අනුව, 2019 නොවැම්බර් මස 18 දින බලයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස මෙය සළකා එහි අන්තර්ගත සියලු අරමුණු සාක්ෂාත් කරගැනීම සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු සියලු රාජ්‍ය ආයරතිපත්ති ප්‍රකාශනය ලෙස මෙය සළකා එහි අනතන  ප්‍රධානීන්ගේ වගකීම වේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල වන පරිදි තම සංවර්ධන කාර්යයන් යථාර්ථයක් බවට පත්කිරීමට උපරිම උත්සාහ දැරීම සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලවල වගකීම වනු ඇත.

    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් මස පළමු සතියේදී අනුමත කරන ලදී. මෙසේ අනුමත කරන ලද නව රජයේ නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය, මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk  යන වෙබ් අඩවියට භාෂාත්‍රයෙන්ම නිකුත් කර ඇති අතර, අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන එය තම ආයතනික වෙබ් අඩවි වලට බාගත කර ඵලකරන ලෙස දැනුම් දෙනු ලැබේ.