රද්දැල්ල හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ පළමු ජෛව තාක්ෂණ ඉන්සියුලින් නිෂ්පාදන කම්හල දියත් කරයි

    September, 21, 2020

    මෙරට කීර්තිමත්ම සමාගම් සමූහයක් වන රද්දැල්ල හෝල්ඩිංග්ස් සමාගම තවත් විප්ලවීය හඳුන්වාදීමකට මුල පුරමින් මෙරට පළමු හා එකම ජෛව තාක්ෂණ ඉන්සියුලින් නිෂ්පාදන කම්හල පසුගියදා දියත් කළේය. මෙම නව නිපැයුම් කම්හලෙහි මෙහෙයුම් කාර්යයන්, රද්දැල්ල හෝල්ඩිංග්ස් අනුබද්ධ ආයතනයක් වන ද ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ඉන්ජෙක්ටබල් කොම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි (SPMC) හවුල්කාරීත්වයෙන් සිදුකෙරෙන අතර මෙම සියලු නිපැයුම් රාජ්‍ය අධීක්ෂණය යටතේ SPMCවෙළෙඳ නාමයෙන් නිෂ්පාදනය කරනු ලබයි.

    මෙහි සමාරම්භක උත්සවය 2020 සැප්තැම්බර් 18 දින කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී පවත්වන්නට කටයුතු යෙදුණු අතර මෙම සුවිශේෂී අවස්ථාවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැවිලි කටයුතු අමාත්‍ය (වෛද්‍ය) රමේෂ් පතිරණ සහ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    මෙම ජෛව තාක්ෂණ නිපැයුම් කම්හල රු. බිලියන 3.5ක් වූ, 100%ක් දේශීය ආයෝජන ඇසුරෙන් බිහි වූවක් වන අතර විශේෂඥ සහ ඉහළම පුහුණුව සහිත වෘත්තිකයින් 200කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා සලසා ඇත. මෙහි නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා අතිනවීන තාක්ෂණය භාවිත කෙරෙන අතර එම නිපැයුම් යුරෝපීය ප්‍රමිතිකරණයේ ඉහළම තලයන්ට අනුකූල වේ. මෙම නව කර්මාන්තශාලාවෙහි නිෂ්පාදන ඉදිරි වසර 15 සඳහා ප්‍රක්ෂේපිත දේශීය ඖෂධ ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරාලනු ඇති අතර අනතුරුව අතිරික්තය අපනයනය කරමින් අනගි විදේශ ආදායම් මාර්ගයක් ද විවර කරනු ඇත.

    එමෙන්ම මෙම අභිනව කර්මාන්තශාලාව, එහි සියලු උපකරණ සහ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම අධීක්ෂණය හා පාලනය සඳහා ලොව සුපතල SCADA පද්ධති භාවිත කරනු ලබයි. නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු අදියරයන් මුළුමනින්ම ස්වයංක්‍රීයව සිදුකෙරෙන නිසාවෙන් උසස්ම තත්ත්ව පාලනයක් සහතික කෙරෙනු ඇත. යුරෝපා සංගමයේ යහ නිපැයුම් පිළිවෙත් (European Union Goods Manufacturing Practice), යහ නිපැයුම් පිළිවෙත් (Good Manufacturing Practice) ඇතුළු අනෙකුත් ප්‍රමිති නියාමනවලට සේම, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ප්‍රමිතීන්ටත් අනුකූල වන පරිදි මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකෙරේ.

    ගෙවුණු වසර දෙකක කාලය තුළ මෙම කර්මාන්තශාලාව සඳහා පුළුල් ලෙස සැලසුම් සකස් කිරීම සිදු වූ අතර, එම කාලය තුළ සියලු සැලසුම්, තාක්ෂණික හුවමාරු සහ විශේෂඥ පුහුණුව අවසන් කර ඇතිවා සේම, සියලු අනුමැතීන් සහ සහතික ලබාගෙන ඇත. නුදුරේදීම මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමත් සමඟ කම්හලේ මෙහෙයුම් ආරම්භ වනු ඇත.

    මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් රට නිවැරදි දිශාව කරා ගෙනයන ඓතිහාසික පියවරක් සනිටුහන් කරයි. තවද රට ස්වයංපෝෂිත භාවය කරා ගෙනයන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මද මෙමගින් මැනවින් විදහා පායි. දේශය ගොඩනංවන මෙම නිර්භය නව උපායමාර්ගික දැක්ම වඩාත් තිරසාර බවින් යුතු ආර්ථික අනාගතයක් සහතික කරනු ඇතිවා සේම ඖෂධ ආනයනය හේතුවෙන් වැයවන විශාල වාර්ෂික වියදමත් නවතා දැමීමට හැකිවනු ඇත.

    මීට අමතරව රජය විසින් අතිශය වැදගත් ක්‍රමවේදයක් වන නැවත මිලදී ගැනීමේ සහතිකයක් ද ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර උත්පාදනය දිරිගැන්වීම, ඊට සහාය දීම සහ දේශීය ව්‍යවසායකයින්ට ආයෝජනය සඳහා විශ්වාසයද ඇති කරවයි. විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි, සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මෙම කාර්යභාරය යථාර්ථයක් කිරීමට ඉටු කළ මෙහෙය ද අතිවිශාල බව සඳහන් කළ යුතුය.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂිර රද්දැල්ල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ පළමු ජෛව තාක්ෂණ නිෂ්පාදන කර්මාන්තශාලාවේ ආරම්භය මුළු රටටම අතිශය වැදගත් අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම මෙම සුවිසල් ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීම සඳහා SPMC ආයතනය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා. මේ කාර්යය ජාතියක් විදිහට අප ස්වයං විශ්වාසයෙන් නිවැරදි දිශාව කරා යන තවත් එක පියවරක්. 100%ක් දේශීය ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය, යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන්නක්. එමඟින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ආනයනය සඳහා වැයවූ අධික පිරිවැයෙන් තොරව, අවම පිරිවැයකින් ගුණාත්මක ඖෂධ වර්ග ලබාගැනීම සහතික කෙරෙනු ඇති. අපි ඉතා දීර්ඝ කාලයක් පුරා පාර්ශවකරුවන් බොහෝ පිරිසක් සමඟ ඉතා වෙහෙස වී කර්මාන්තශාලාවේ නිර්මාණ කටයුතු සහ තාක්ෂණික කටයුතු සම්පූර්ණ කර තිබෙනවා. අපට ඉතිරි වී තිබෙන්නේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම අවසන් කිරීමට පමණයි”

    රද්දැල්ල හෝල්ඩිංග්ස්, මූල්‍ය හා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැක්මකින් යුතුව කටයුතු කළ නිහාල් රද්දැල්ල මහතා විසින් 1984 දී ආරම්භ කරන ලද පවුල් ව්‍යාපාරයකි. එතැන් පටන් විවිධ ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත වෙමින් ඉදිරියට යන මෙම සමාගම අද දවසේ සේවකයින් 1000 කට අධික සංඛ්‍යාවක් සමගින්, සිය දැක්ම නොනැසෙන සේ ඉදිරියට ගෙන යන්නට රද්දැල්ල පවුලේ දෙවැනි පරම්පරාව මේ වන විට කටයුතු කරයි.