රන් මිලෙන් අපේ බැංකු වලට පහර පිට පහර වදී

    March, 8, 2014

    ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩුවීම නිසා රත්‍රන් ඇපයට තබාගෙන ලබාදුන් ණය වලින් විශාල පාඩු සිදුවීම නිසා පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට බැංකුවල ලාභය සියයට 16 කින් පහළ ගොස් තිබෙන බව නවතම පර්යේෂණ වාර්තාවක් විසින් හෙළි කරයි.

    කොටස් වෙළඳ පොළ පිළිබඳව CAL Research ආයතනය විසින් නිකුත් කර තිබෙන නවතම පර්යේෂණ වාර්තාව මගින් මේ බව අනාවරණය වන අතර පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට ලයිස්තුගත බැංකු විසින් අක්‍රීය ණය වෙනුවෙන් රුපියල් බිලියන 4.7 ක මුදලක් වෙන්කර තිබේ.

    2012 දෙසැම්බර් කාර්තුවේදී මෙම බැංකු විසින් සිය අක්‍රීය ණය සඳහා වෙන්කර තිබුණේ රුපියල් බිලියන 3.5 ක මුදලකි.

    කෙසේවෙතත්, මෙම කාලයේදී බැංකුවල ණය පොත (Loan book) සියයට 16 කින් වර්ධනය වී තිබෙන අතර ශුද්ධ පොලී අන්තරය පදනම් අංක 30 කින් සියයට 4.4 ක් දක්වා පහළ ගොස් ඇත.

    විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙරට තවමත් තිබෙන්නේ ලෝකයේ විශාල ශුද්ධ පොලී අන්තරයක් බවත් එය රටේ සංවර්ධනයට විශාල බාධාවක් බවයි.

    පොලී අන්තරය යනු බැංකුවක් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය සහ ණය ලබාදෙන පොලී අනුපාතය අතර වෙනසයි. තවත් විදිහකින් කියනවා නම් බැංකු විසින් උපයන පොලී ලාභයයි.

    හොංකොං හි, බැංකුවල පොලී අන්තරය හෙවත් බැංකු විසින් උපයන පොලී ලාභය සියයට 1.7 ක් පමණ වන අතර එයින් එරට ආර්ථික ක්‍රියාකාරකම් වලට ලබාදෙන්නේ දැඩි උත්තේජයකි.

    CAL Research වාර්තාවට අනුව පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට ලයිස්තුගත සමාගම්වල ලාභය සියයට 06 කින් වර්ධනය වී රුපියල් බිලියන 51 ක්වී තිබේ.