• Ada Derana BIZ Sinhala
  • Rhino
  • sri lanka

රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ මෙහෙවරක

September, 7, 2022

ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්‍ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේ ය.

1992 ජූනි 12 දින සිසුන් 60 දෙනෙකුගෙන් ආරම්භ වූ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙහි මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් සිසු සිසුවියෝ 2250 ක් පමණ ඉගෙනුම ලබති. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එම පාසලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර, විශේෂයෙන්ම ජාතික මට්ටමේ විභාග වලට පෙනී සිටින දරුදැරියන්ට එමගින් විශාල බලපෑමක් එල්ල විය. එම තත්ත්වය හඳුනාගනිමින්, දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්‍යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළේ ය.

“රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගන්නේ දරුවන් සහ තරුණ පරපුර කියා මා විශ්වාස කරනවා. වගකීම්සහගත ආයතන සහ වැඩිහිටියන් වශයෙන් අප ඔවුන්ට අනාගත නායකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදිය යුතුයි. පාසල යනු සෑම දරුවෙකුගේම ජීවිතයේ මූලික අඩිතාලමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අධ්‍යාපනය යනු කාටත් සමානව හිමි විය යුතු වරප්‍රසාදයක්. එය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ටත් නො-අඩුව ලබාදීම සඳහා මැදිහත් වීමට අප තීරණය කළා. එමෙන්ම මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා පැවසී ය.

වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම වසර 60 කට අධික කාලයක් තිස්සේ රටේ යහපත උදෙසා පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම නවතම ව්‍යාපෘතිය සමගින් එම සමාගම, රටේ වටිනාම සම්පත වන දරු පරපුරේ හෙට දිනය වඩාත් යහපත් කිරීම සඳහා ඉදිරිපත් විය. මේ වනවිට රටේ ආර්ථිකය මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයද අර්බුද රැසකට මුහුණ දී සිටින නමුත්, රටේ අනාගතය වෙනුවෙන් මෙම වටිනා ප්‍රජා සත්කාරය ක්‍රියාවට නැංවීමට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම තීරණය කළේ ය.

“තක්ෂිලා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 30 කට අධික ඉතිහාසයක් සහිත සුප්‍රකට පාසැලක්. 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති කාලයේදී මුහුණ දීමට සිදු වූ ගැටලුව අප කිසිවෙකුත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. එම අවස්ථාවේදී ගොඩනැගිල්ල අලුත්වැඩියා කර දීම සඳහා රයිනෝ සමාගම ඉදිරිපත් වුණා. අප පාසල කවදත් දක්ෂ දරුවන් බිහිකළ පාසලක්. මේ නව පහසුකම් නිසා දරුවන්ට වඩාත් සතුටින් හා සැහැල්ලුවෙන් තම අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේවි. මෙය තක්ෂිලා විද්‍යාලයේ වර්තමාන මෙන්ම අනාගත සිසු දරු දැරියන් වෙනුවෙන් ලැබුණු වටිනා පරිත්‍යාගයක් ලෙස අප සලකනවා. එමෙන්ම මෙය එම දරුවන් තවදුරටත් අධ්‍යාපන කටයුතු වලට උනන්දු කරවන පියවරක් වේවි.” ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිනිය වන එම්. ඒ. අනුලා පද්මිණී මහත්මිය පැවසුවා ය.

1962 වසරේදී සාමාන්‍ය මට්ටමින් ආරම්භ වූ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ විසඳුම් පිරිනමන සමාගම බවට පත්වී ඇත. දශක ගණනාවක් තිස්සේ එම සමාගම ඉහළම ප්‍රමිතියෙන් යුත් සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මිල කළ නොහැකි දායකත්වයක් ලබාදෙමින් සිටී.