රවී ඩයස්ගෙන් පසු කොමර්ෂල් බැංකු ලොකු පුටුවට ජෙගන් දුරෙයිරත්නම්

    July, 15, 2014

    කොමර්ෂල් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, රවී ඩයස් මහතා එම තනතුරෙන් විශ‍්‍රාම ගැනීමත් සමග එම තනතුරට 2014 ජූලි 17 වනදා සිට වෘත්තීය බැංකු කරුවෙකු වන ජෙගන් දුරෙයිරත්නම් මහතා පත් කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

    ජෙගන් දුරෙයිරත්නම් මහතා මේ වනවිට බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

    1982 වසරේදී බැංකුවේ සේවයට එක් වූ ජෙගන් දුරෙයිරත්නම් මහතා පසුගිය වසර නවය මුළුල්ලේම කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. ජාත්‍යන්තර වෙළඳාම, එතෙර බැංකු කටයුතු, ණය මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණය යන බැංකු කරණයේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳ හසල පළපුරුද්දක් ඔහු සතුව ඇත. පේරාදෙණිය සරසවියේ උපාධිධාරියකු වන දුරෙයිරත්නම් මහතා වසර ගණනාවක්ම කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක්ම හොබවා තිබෙන අතර ජාත්‍යන්තර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු මෙන්ම ආනයන අංශයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත. 2012 අපේ‍්‍රල් මාසයේදී ඔහු බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම ලැබූ අතර ආයතනික බැංකු කරණය, පුද්ගලික බැංකු කරණය, තොරතුරු තාක්ෂණය, ආනයන හා අපනයන, ප‍්‍රසම්පාදන කටයුතු සහ පරිශ‍්‍ර, මෙහෙයුම්, විදේශ මුදල් කාර්යංශය/සංචාරක සහ ණය අයකර ගැනීමේ කටයුතු යන අංශ ඔහු විසින් අධීක්ෂණයට ලක් කළේය.

    2012 වසරේ අපේ‍්‍රල් මාසයේදී කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්වීම ලද රවී ඩයස් මහතා 1974 වසරේදී බැංකුවේ සේවයට එක් විය. ඔහු බැංකුවේ ප‍්‍රගතියට නායකත්වය දෙමින් වැදගත් තනතුරු කිහිපයක්ම දරා ඇත. 1995 ජූලි මාසයේ සිට බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන රවී ඩයස් මහතා 2008 පෙබරවාරි මාසයේදී බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසත් 2010 දෙසැම්බර් මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලයටත් පත් කෙරුණි.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස තමා ලද නව පත්වීම පිළිබඳව ජෙගන් දුරෙයිරත්නම් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘රට සංවර්ධන ගමනක් යන මේ අවස්ථාවේදී මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා. පසුගිය වසර දෙක මුළුල්ලේ රවී ඩයස් මහතා කොමර්ෂල් බැංකුවට අග‍්‍රගණ්‍යයේ නායකත්වයක් ලබාදුන් අතර මාගේ අරමුණ වන්නේද බැංකු අංශය මුහුණ දෙන අභියෝග ජයගනිමින් වර්ධනීය මාවත විවර කර ගැනීමයි.’’