• Ada Derana BIZ Sinhala
  • Hummer
  • sri lanka

රාජසන්තක කළ Hummer රථයක් වෙන්දේසි කරද්දී ගෙන්වපු කෙනාටම දීලා – මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

October, 5, 2022

නීති විරෝධී ලෙස ආනයනය කළ හමර් රථයක් ආනයනකරුට ම වෙන්දේසි කිරීම ගැන සතියක් ඇතුළත වාර්තාවක් කැඳවයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කරයි. අදාළ වාහනය තවත් වාහන තුනක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වැනි දා ශ්‍රී ලංකාවට ආයනයක කර තිබේ.

පසුව ඒවා රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැත. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූ බව අමාත්‍යවරයා පැවැසීය.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඡායාරූපය - අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලද Hummer වර්ගයේ රථයක ඡායාරූපයකි.