රාජ්‍ය ණය ගැන මහ බැංකුව මෙසේ කියයි

    February, 9, 2018

    2018 පෙබරවාරි 08 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වි ඇත.

    රජය වෙනුවෙන් නිකුත් කරන ලද දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ගබඩාවට අමතරව මුදල් අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරු ද පදනම් කර ගනිමින් මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

    මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරුවම සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය සංඛ්‍යාලේඛනවල නිවැරදිතාව තහවුරු කරගනු ලබයි.

    මීට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන ණය තොරතුරු පද්ධතියට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ද මහ බැංකුව සතුවේ. තවද, මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ සේවාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ස්වකීය දේශීය හා විදේශීය ණය නිකුත් කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ණය තොරතුරු පද්ධතිය භාවිත කරයි. මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනනය කරනු ලබන මධ්‍යම රජයේ ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් නිරීක්ෂණය කර පිළිගැනීම සිදු කරනු ලබයි.

    මීට අමතරව ණය සටහන් පද්ධතිවල තොරතුරුවලට අනුව සිදුකරන ලද ණය සේවාකරණ ගෙවීම් තුළින් නොකැළැල් ණය සේවාකරණ වාර්තාවක් ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා පවත්වා ගෙන යන ලදී.

    තවද, රාජ්‍ය ණය කළමනාකරණය විචක්ශණශීලීව සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය කළමනාකරණ උපාය මාර්ගයක් සකස් කරමින් පවතින අතර, සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමත් සමඟ ණය සේවාකරණ වගකීම් තවදුරටත් විධිමත් ව කළමනාකරණය කිරීමට හැකි වනු ඇත.