රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණයට ව්‍යවස්ථාපිත ආයතනයක්

    February, 21, 2018

    කාලානුරූපී අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය හා ඒවායේ බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ පාර්ශ්වවල අදහස්ද සැලකිල්ලට ගනිමින්, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ.

    සියලු රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, රාජ්‍ය නොවන සංවිධාන නියාමනය හා අධීක්ෂණය සඳහා බලයලත් ආයතනය වන රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් ස්ථාපනය කිරීම, රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර, අන්‍යෝන්‍ය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, රටේ පොදු සංවර්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයේදී රාජ්‍ය නොවන සංවිධාන පිළිගැනීම, සිවිල් සමාජය ශක්තිමත් කිරීම හා සවිබල ගැන්වීම, රාජ්‍ය නොවන සංවිධානවල ඵලදායි ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සැලැසීම සහ ඒවායේ මුදල්, ප්‍රතිපත්ති හා කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම යෝජිත සංශෝධනය සිදු කිරීමේ පරමාර්ථ වේ.

    ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.