රාජ්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක්

    February, 21, 2017

    විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක් යටතේ පොදු ප්‍රසම්පාදනය, දියත්කිරීම තුළින් දැනට පවතින රාජ්‍ය මිල දී ගැනීම් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම තත්ත්වයකට ගෙන ඒමට හැකිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නවීන උපාය මාර්ග යොදාගන්නා බැවින් එම ක්‍රියාවලිය තුළ දැනට පවතින ගැටලු නිරාකරණය කර එය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර, මනා විනිවිදභාවයකින් යුත් තරගකාරී හා සාධාරණව මුදලේ වටිනාකම එම මිලට ගැනීම් සිදුකිරීමට හැකිවන බව ද අමාත්‍යවරයා කියා සිටියි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ දින (20) කොළඹ දී ආරම්භ වූ දකුණු ආසියානු කලාපයේ පොදු ප්‍රසම්පාදන සමුළුවේ සමාරම්භ අවස්ථාවට එක්වෙමිනි. සමුළුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. "දකුණු ආසියාවේ විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ජයග්‍රහණ, අවස්ථා හා අභියෝග" යන මැයෙන් පැවැත්වෙන මෙම කලාපීය සමුළුව කොළඹ සහ මහනුවර දී දින 04 පුරා පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් කථිකයන් රැසක් එහි දී දේශන පැවැත්වීමට නියමිතය.

    එමෙන්ම ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය හා ශ්‍රී ලංකාවේ පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නියුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සමුළුවට සහභාගි වී සිටිති.

    මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක බැංකුව උපකාර ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර සිටින මොහොතක මෙම සමුළුව පැවැත්වීම කාලෝචිත පියවරක් බවයි. ලෝක බැංකුවට අමතරව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) ආසියානු සංවර්ධන බැංකුව (ADB) යුරෝපා හවුල ජපාන ජාත්‍යන්තර සහයෝගිතා හවුල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් විසින් ලංකාවේ පොදු මූල්‍ය කළමනාකරණ සංස්කරණ ක්‍රියාවලියට උපකාර කිරීමට කැමැත්ත පළකර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම සමුළුවේදී සාකච්ඡාවට බඳුන්වන විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විවිධ මාතෘකා හා එමඟින් එළඹෙන නිගමනයන් මෙරට මෙන්ම සහභාගිත්ව රටවල ඉදිරි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අභියෝග ජයගැනීමට මෙන්ම කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට ද හැකිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අයිඩා ස්වරායි රිඩ්ඩිහවු සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී, රාජ්‍ය මුදල් දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. අල්ගම යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.