රාජ්‍ය ව්‍යවසායයන්හි කාර්ය සාධන වර්ධනයට ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්

    December, 20, 2017

    රජයට බරක් වී ජනතාවගේ බදු මුදලින් සේවකයන්හට වැටුප් ගෙවා නඩත්තු කරමින් පවත්නා ඇතැම් රාජ්‍ය ආයතන ඇතුළුව රාජ්‍ය ව්‍යවසායයන් හි කාර්ය සාධනය නංවාලීම පිණිස අදාළ ආයතන සහ ඒවා අයත් රේඛීය අමාත්‍යාංශ සමග මහා භාණ්ඩාගාරය විසින් ත්‍රෛපාර්ශ්වික අවබෝධතා අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නියමිතව ඇත.

    තරගකාරීත්වය සමග කාර්ය සාධනය වැඩි කරමින් පාරිභෝගික ජනතාවට සපයනු ලබන සේවාවන් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වැඩි කිරීම සඳහා අවශ්‍ය කාර්ය සාධන දර්ශක අන්තර්ගත කොට දැනටමත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් පහක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංවිම, වරාය අධිකාරිය හා ජාතික ජලසම්පත් හා ජලපවාහන මණ්ඩලය යන ආයතන පහ මේ අතර වේ.

    රාජ්‍ය ව්‍යවසායයන් විසින් සපයනු ලබන පාරිභෝගික සේවාවන් කාර්යක්ෂමව ලබා දෙන අතර අදාළ ආයතනවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ කාර්ය සාධක දර්ශක ඇතුළත්කොට තවත් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල දහයක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මිල්කෝ ආයතනය, ජාතික පශු සම්පත් මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රීලංගමය, මධ්‍යම ඉංජිනේරු හා ඉදිකිරීමේ කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, ලංකා පුත්‍ර බැංකුව, ලක් සතොස, රාජ්‍ය වැවිලි සංස්ථාව ආදී ආයතන සමග 2018 නව වසරේ සිට ඒවායේ කාර්යක්ෂමතාව වැඩිකිරීමේ දර්ශක සහිතව ඒවායේ ප්‍රගතිය මහා භාණ්ඩාගාරය විසින් අඛණ්ඩව සමාලෝචනයට ලක් කරනු ඇත.

    දැනට 10%ක්ව පවතින සුළං ජනනීය විදුලිබල පද්ධතිය 2019 වන විට මුළු විදුලිය ජනනයේ ප්‍රතිශතයක් ලෙස 19% දක්වා වැඩි කිරීම, පිරිසිදු පානීය ජලය සඳහා වන 89.3% ප්‍රතිශතය 2019 වන විට 90% දක්වා වැඩි කරන අතර භූගත ජලනල ආවරණ ප්‍රදේශ 41% සිට 2019 වන විට 46% දක්වා වැඩි කිරීම දැනට හඳුනාගත් කාර්ය සාධන පියවර කිහිපයකි. එමෙන් ම සියලු රාජ්‍ය ව්‍යසායයන්ගේ ණය සහ වත්කම් අතර අනුපාතිකය දැරිය හැකි මට්ටමට අඩු කිරීම ප්‍රධාන ඉලක්කයක් ලෙස හඳුනාගෙන තිබේ.