රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය,සෞඛ්‍ය,මාර්ග,ප්‍රවාහන අංශයට මුල් තැන

    December, 2, 2016

    ආයතන අලාභ ලැබීම අවම අකරගැනීමට ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බවත් රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, ප්‍රවාහන අංශයට මුල් තැන දිය යුතු බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රාජ්‍ය ව්‍යවාසාය සංවර්ධන අමාත්‍ය අංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අභියෝග අභිබවා ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගමන් කරන බව කී අමාත්‍යවරයා, අමාත්‍යාංශයට අයත් ආයතනයන් හි අලාභය අඩු කරගැනීමට ප්‍රතිව්‍යුහගත කරමින් පවතින බව කීය.

    අලාභ ලබන ගුවන් ගමන් නතර කර තිබෙනවා. ඵලදයි, ප්‍රතිඵලදායි ගිවිසුම් මඟින් පෞද්ගලික අංශය සමඟ තරඟ කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල පනත ගෙනැවිත් දේශපාලනීකරණය වීම වළක්වනවා. රාජ්‍ය ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.

    මේ අක්‍රමිකතා සියල්ල සිදු වුණේ පසුගිය ආණ්ඩුව කාලයේදි. රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, ප්‍රවාහන අංශයට මුල් තැන දිය යුතුයි. අලාභ ලබන ආයතන සඳහා ජනතාවගේ බදු මුදල් නොයෙදවිය යුතුයි. බදු පීඩනය අවම කර ගත යුතුයි. ශ්‍රී ලංකා ගුවන් සේවාව, මිහින් ලංකා තිබෙනවා. ගුවන් සේවා දෙකක් පවත්වා ගෙන යාමට නොහැකි නිසා එක් ආයතනයක් යටතට ගෙන තිබෙනවා.

    මෙවැනි වාණිජ තීරණ ගෙන තිබෙන්නේ ජනතාවට වාසි ලබාදීම සඳහා. කලාපීය ගමන් යාමට අපේ ගුවන් සේවාව ලාභ ලබනවා. අලාභ ලබන යුරෝපය වැනි රටවලට නොගොස් කලාපීය ගුවන් සේවාවක් පවත්වා ගෙන යා යුතුයි.

    බැංකු සේවාවන් කිරීමට බැංකුව ප්‍රමුඛතාව ගත යුතුයි. විශාල සහ කුඩා බැංකු තිබෙනවා. නිවාස සෑදීමට අඩු පොලියට ණය දෙනවා. යල් පැන ගිය ආර්ථික චින්තනයක් අපට නැහැ. අයිතිය වෙනස් කිරීමෙන් පමණක් ලාබ ලබනවා කියන සංකල්පයේ අපි නැහැ. පෞද්ගලික අංශය සමඟ අපි තරඟ කළ යුතුයි. එහිදී ඕනෑම පත් කිරීමක් කරනුයේ දේශපාලනයෙන් තොරව. රාජ්‍ය ව්‍යවසාය ආයතනවල ලාභය ලබන්නට මෙමඟින් හැකි වෙනවා. ලබන වසරේ මුල් භාගයේදි මේ පනත ගේනවායැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.