රාජිත ගෙනා “Tuna King“ කිමුරාට රජය වැට බඳී

    December, 30, 2014

    ටූනා කින්ග් හෙවත් ජපානයේ කියෝෂි කිමුරා ඇතුළු විදේශිකයින්ට අයත් යාත‍්‍රා ශ‍්‍රී ලංකා ධජය යටතේ මෙරට මුහුදේ මාළු ඇල්ලීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යංශය පවසා තිබෙන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ආරම්භ කරන ලද සමාගම් කිහිපයක් ශ‍්‍රී ලංකා ධජය යටතේ විදේශීය යාත‍්‍රා මගින් ජාත්‍යන්තර මුහුදේ මාළු ඇල්ලීම පිළිබඳව මෙරට ධීවරයින්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙන බවයි.

    රටේ ජාතික අවශ්‍යතාවන්ට බාධාවන ආකාරයට මෙම සමාගම් කටයුතු කර ඇත්දැයි සොයාබැලීමටත්, ඊට අදාළ ප‍්‍රසම්පාදන කටයුතු ගැන විමර්ශනය කිරීමටත්, මෙම සමාගම් ආශ‍්‍රිතව ආයෝජන මණ්ඩලය අනුගමනය කරන ලද ක‍්‍රියා පිළිවෙත පිළිබඳව සුපරීක්ෂා කිරීමටත් තීරණය කර ඇති බැවින් මෙම විදේශීය යාත‍්‍රාවල ක‍්‍රියාත්මක භාවය තාවකාලිකව අත්හිටුවීමට රජය තිරණය කර ඇතැයි රජය සඳහන් කර ඇත.

    මේ වනවිට, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව සිටින රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ මෙම යාත්‍රා වලට මෙරට ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා ධජය යටතේ මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදී තිබුණි.

    මෙරට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යාත්‍රා 06 ක් යොදවා තිබෙන ජපානයේ “ටූනා කින්ග්“ හෙවත් කියෝෂි කිමුරා විසින් ජපානය තුළ සුෂි අවන්හල් ජාලයක් පවත්වාගෙන යයි.

    මේ වනවිට, තායිවානය, ඉන්දුනීසියාව හා මැලේසියාව යන රටවල යාත්‍රා ලංකාවේ ලියාපදිංචි වී ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන අතර ඒවා සිය මත්ස්‍යය අස්වැන්න අපනයනය කරන්නේද ලංකාවේ සිටයි.

    ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රා 3000 ක් පමණ තිබුණත් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සිදු කරන්නේ යාත්‍රා 300 ක් වැනි බොහෝ අඩු ප්‍රමාණයකි.